ඩොලර් නොමැතිවීම නිසා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක් ආනයනය කරගත නොහැකිවීමෙන් ඉදිරි මාස තුන හතර ඇතුළත රජයේ රෝහල්වල ඖෂධ සහ ශල්‍යාගාරවල භාවිත කරන ද්‍රව්‍ය හිඟයක් ඇතිවීමේ අවදානමකට මුහුණ දී ඇති බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනතුරු අඟවා ඇත.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙම අනතුරු හැඟවීම කර ඇත්තේ, ඖෂධ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය යූ.ඩී.එස්. සමරසිංහ මහතා විසින් ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා වෙත ලිපියක් යවමිනි.
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ගිණුම්වල ඩොලර් නොමැති වීම හේතුවෙන් ඖෂධ ගෙන්වාගැනීම සඳහා විවෘත කළ ණයවර ලිපි 72කට ගෙවීම් කළ නොහැකි වූ අතර සමහර ණයවර ලිපි කාලය ඉක්ම ගොස් අවලංගු වී ඇත. ඖෂධ ඇණවුම් අංකය, ඇණවුම් කරන ඖෂධ, ඖෂධ ඇණවුමේ ඩොලර් වටිනාකම හා ණයවර ලිපිය විවෘත කළ දින හා අවසන් වන දින පිළිබඳ තොරතුරු ලැයිස්තු ද එම ලිපියට අමුණා ඇත. ඒ අනුව ඉකුත් සැප්තැම්බර් මාසයේ නැව්ගත කිරීමට නියමිත වූ ඖෂධ තොගයන්ට ද මුදල් ගෙවා ගැනීමට නොහැකි වී ඇත.
ඩොලර් වටිනාකම ගෙවා ගත නොහැකි වූ මහජන බැංකුව මගින් ස්ථාපිත ණයවර ලිපි ගණන 56ක් වන අතර ශ්‍රී ලංකා රුපියල්වලින් වටිනාකම රුපියල් මිලියන 1,197.35කි. ලංකා බැංකුව මගින් ස්ථාපිත ණයවර ලිපි ගණන 16ක් වන අතර එහි සමස්ත වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 1020.62කි. එම බැංකු දෙකෙන් ණයවර ලිපි වෙනුවෙන් වූ සමස්ත වටිනාකම රුපියල් මිලියන 2217.97කි.
ඩොලර් හිඟය හේතුවෙන් ආනයනය කරගත නොහැකිව සිටින මෙම ඖෂධ තම ගබඩාවන්හි පවතින්නේ ඉතා අඩු මට්ටමක බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඉදිරි මාස කිහිපය තුළ එම තොග අවසන් වීමේ අවදානම මග හැරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හැකියාවක් නොමැති බව එම ලිපියේ සඳහන්ව තිබීමෙන් ම පවතින තත්ත්වය බරපතළකම තහවුරු වෙයි.
‘මව්බිම’ වෙත ලැබී ඇති තොරතුරු අනුව ඩොලර් හිඟය හේතුවෙන් රටට ආනයනය කරගැනීමට නොහැකිව පසුවන අත්‍යවශ්‍ය ඖෂධ ගණන 25ක් පමණ වේ. ඒ අතර ඒඩ්ස් රෝගයට, පිළිකා රෝග තත්ත්වයන්ට, හෘද රෝගවලට අවශ්‍ය ඖෂධ මෙන් ම, සර්ප විෂ හා අනෙකුත් විස වර්ග ශරීරගත වූ විට ලබා දෙන විස නසන ඖෂධ ද, නිර්වින්දන ඖෂධ ද වේ.
අප මෙම තත්ත්වය පිළිබඳව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහතාගෙන් විමසූ අවස්ථාවේදී එවැනි ලිපියක් තමන් වෙත ලැබුණු බව පිළිගැනීමට අකැමැති විය. එහෙත් ‘මව්බිම’ට සම්පූර්ණ තතු අනාවරණය වී ඇති බව දැනගත් පසුව එම ලිපිය ලැබුණු බව පිළිගත්තේ ය. රහස්‍ය ලිපියක අඩංගු කරුණු අප වෙත ලැබීම ගැන විමතිය පළ කළ රත්නායක මහතා කලෙක සිට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙයාකාරයෙන් අමාත්‍යාංශය බය කිරීම සාමාන්‍ය දෙයක් බව ද කීය.
“මාස හයක් තිස්සේ ම මෙවැනි ලිපි එවනවා” කී ඒ මහතා මාස තුනක සැපයුම් ඇති බව කියා මුදල් ලබා ගැනීමට බැංකුවට බලකිරීමට මෙම ලිපි යොදා ගන්නා බව කීය. එය ප්‍රමුඛතාව ගැනීමට ගන්නා පියවරක් බව කී රත්නායක මහතා, ණයවර ලිපි කල් යාමකදී නැවත දීර්ඝ කරන බව ද කීය. මාස 3-4ක් යද්දී බෙහෙත් හිඟයක් ඇති නොවන බවට සහතික විය හැකි දැයි රත්නායක මහතාගෙන් ඇසූ විට සහතික වන බව ද ඔහු පැවසීය.
රෝහල්වල බෙහෙත් හිඟයක් ඇති බව ප්‍රතික්ෂේප කළ ඒ මහතා බෙහෙත් 4-5ක විතර අඩුවක් තිබිය හැකි බව පැවසීය.
මේ වන විට ණයවර ලිපි විවෘත කළ බෙහෙත් තොග 14ක් නිදහස් කර ගැනීමට ඩොලර් ලැබී ඇති බව ද පැවැසූ ඒ මහතා, කොහොමත් අවශ්‍ය ඩොලර් කොටස් වශයෙන් භාණ්ඩාගාරයෙක් ලබාගන්නා බව ද අත්‍යවශ්‍යතාව මත එම මුදල් ලබා දෙන බව ද පැවැසීය. ඩොලර් හිඟය නිසා ඇතිව ඇති ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට තමන් අවතීර්ණ වී ඇති බව ද, ලංකාවේ ඖෂධ නිෂ්පාදනයට මෙය හොඳ අවස්ථාවක් ලෙස සිතා එයට උනන්දු කරන බව ද හෙතෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඖෂධ සඳහා ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින බව පිළිගත්තේ ය.
ඒ සම්බන්ධව ඉකුත් 29දා ඖෂධ අලෙවි ආයතන කිහිපයක ප්‍රධානීන් හා හිමිකරුවන් පැමිණ සාකච්ඡා කළ බවත් 30 වනදා ඔවුන් භාණ්ඩාගාරයේ ආටිගල මහතා හමුවී කතා කිරීමට නියමිතව තිබූ බව ත් පැවසුවේ ය.
දැනට රෝහල්වල බෙහෙත් හිඟයක් නොවූවත් ඉස්සරහට හිඟයක් ඇතිවිය හැකි බව කී කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා යම්කිසි වැඩපිළිවෙළක් නොකර හිටියොත් එම තත්ත්වය උදාවිය හැකි බැවින් එවැනි වැඩපිළිවෙළකට අවතීර්ණ වී සිටින බව ද පැවසීය.
මාස 3-4ක් යන විට ඖෂධ හිඟයක් ඇතිවිය හැකිදැයි විමසූ විට එසේ විය නොහැකි බව පැවසුවත් ඔහු යළි පැවැසුවේ ඒ සම්බන්ධව අවධානය යොමු නොකොට කටයුතු කළොත් එසේ විය හැකි බවයි.
දැනට රෝහල්වල ඖෂධ අඩුවක් නෙමැතිදැයි විමසූ විට ‘එහෙම අඩුවක් නැතැයි’ කීව ද අනතුරුව ඇමතිවරයා කියා සිටියේ, සාමාන්‍යයෙන් රෝහල්වල ඇතැම්විට මිල අධික ඖෂධ අඩුවක් පවතින බවයි.
ඖෂධ අඩුවක් වීමට ඉඩ නොදෙන බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ත් තමා කතා කර ඇති බවත් ඇමතිවරයා පැවසීය. ප්‍රමුඛතාව දෙන එක් අංශයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය බැවින් ජනාධිපතිවරයා ද සිටින්නේ එම ස්ථාවරයේ බව ද ඇමතිවරයා කීය.
මේ අතර, ඖෂධ සංස්ථාව හරහා රජයේ රෝහල්වලට ඖෂධ ටෙන්ඩර් හරහා ඖෂධ සැපයූ සැපැයුම්කරුවන්ට රුපියල් බිලියන දෙකකට අධික හිඟ මුදලක් ගෙවීමට තිබෙන බව සැපැයුම්කරුවෝ පවසති.