Friday, January 24, 2025

තමන් හමුවීමට පැමිණෙන ඕනෑම කෙනෙකුට තම නිල නිවසේ දොරටු විවෘතයි

ජනාධිපතිවරණයට පෙර මේ රටේ ජනතාවට අහිමිව තිබූ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ලබාදීමට වත්මන් රජයට හැකිවූ බව සඳහන් කළ ජනාධිපතිතුමා 2015 ජනාධිපතිවරණයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටුකිරීමට රජය බැඳී සිටින බව ද අවධාරණය කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ යහපාලන රජය බලයට පත්කිරීම සඳහා සහය දුන් නීතිඥවරුන් සමග  23 දා ජනාධිපති මන්දිරයේ දී පැවති සුහද හමුවට එක්වෙමිණි.

මැතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා වත්මන් රජය කැපවී සිටින බැවින් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා ඉවසීමෙන් යුතුව රජය සමග අත්වැල් බැඳගන්නා ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී සියලූ නීතිඥවරුන්ට ආරාධනා කළේය.

දේශපාලන සහ සමාජ පෙරළියක් හරහා නව රජය බලයට ගෙන ඒමට නීතිඥවරු දැක්වූ දායකත්වයට ද ජනාධිපතිතුමා නැවතත් සිය ස්තූතිය පළ කළේය.

තමන් හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස නීතිඥවරු කළ ඉල්ලීමට පිළිතුරු දුන් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ තමන් හමුවීමට පැමිණෙන ඕනෑම කෙනෙකුට තම නිල නිවසේ දොරටු විවෘත බවයි.

ජනතාව අපේක්ෂා කළ ජනාධිපතිවරයා ලෙස තමන් සෑම කෙනෙකුගේම අදහස් වලට සවන් දෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

මෙම සුහද හමුව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, හිටපු රාජ්‍ය අමාත්‍ය රාජා සමරනායක, නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරිය, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ, ජ්‍යෙෂ්ඨ නීතිඥ කාන්තී කන්නන්ගර යන මහත්ම මහත්මීන් ඇතුළු නීතිඥවරු පිරිසක් එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles