Saturday, January 11, 2025

තරුණ ක්‍රීඩකයෝ හරිවෙලාවට දක්ෂතා අතරට ආවා – බංග්ලාදේශ තරගයට පෙර දසුන්

මහීෂ්ගේ ආබාධය විටින් විට ඇතිවන්නක් බවත්, එය දිගටම බලපාන තත්ත්වයක් නොවන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසීය. කෙසේ නමුත් බංග්ලාදේශයට එරෙහිව හෙට (24දා) පැවැත්වෙන තරගයට පමණක් ක්‍රීඩා නොකරනු ඇති බව ඔහු පැවසීය.

අයි.සී.සී. 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන අතර, එම තරගය පිළිබද අද (23දා) දහවල් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී දසුන් මේ බව පවසා සිටියේය.

මහීෂ් තීක්‍ෂණගේ ආබාධය ගැන

මහීෂ්ගේ ආබාදය විටින් විට එන එකක්. දිගටම තියෙන එකක් නෙමෙයි. කෙසේ නමුත් අද තමයි හරියටම බලන්නේ එයාගේ තත්ත්වය කොහොමද කියලා. ගොඩක් දුරට හෙට තරගයට ක්‍රීඩාකරන එකක් නැහැ. නමුත් ඉදිරියේදී පුළුවන් තරම් සෙල්ලම් කරවන්න බලනවා.

බංග්ලාදේශ කණ්ඩායම සම්බන්ධයෙන්

බංග්ලාදේශය ගොඩක් හොඳ කණ්ඩායමක්. සුදුසුකම් ලැබීමේ තරග වටයෙත් හොදින් ක්‍රීඩාකළා. ඒත් විස්සයි20 කියන්නේ ඉතා කෙටි තරග, එදා හොදින් කරන අය තරගය දිනනවා. කෙසේ නමුත් හොඳ තරගයක් දැකගන්න ලැබෙයි.

බංග්ලාදේශ කණ්ඩායමේ අවධානය යොමුකර තිබෙන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් දසුන් පවසා සිටියේ, ශකීබ් අල් හසන් හා මහමදුල්ලාහ් පිළිබඳ වැඩි අවධානයක් යොමුකර තිබෙන බවයි.

පුහුණු තරගයෙන් බංග්ලාදේශය පරාජය කිරීම

බංග්ලාදේශට එරෙහි පුහුණු තරගය විතරයක් නෙමෙයි අපි පුහුණු තරගවලත්, සුදුසුකම් ලැබීමේ තරගාවලියෙත් ඉතා හොඳින් ක්‍රීඩාකළා. පසුගිය තරග සියල්ලෙදිම කණ්ඩායමක් ලෙස නොකරපු ගොඩක් දේවල් කළා. ඒ නිසා සුපිරි 12දිත් එම දක්‍ෂතා එළෙසම පවත්වා ගනිමින් හොඳින්ම ක්‍රීඩාකරන්න බලාපොරොත්තු වෙනවා.

කණ්ඩායමේ ඍජු නැගීමට හේතු

තරුණ කණ්ඩායමක් ලෙස අපට ජය වගේම පරාජත් භාරගන්න වෙනවා. විශේෂයෙන් අනෙක් කණ්ඩායම්වල තිබෙන අත්දැකීම් අනුව ඔවුන් ක්‍රීඩාකරන ආකාරයත්, තරුණ කණ්ඩායමක් ලෙස අපට එකපාරට ඔවුන් සමඟ තරග කරන්න අපහසුයි. ලබාගන්න අත්දැකීම් අනුවයි අපේ දක්‍ෂතා දියුණු කරගන්නේ. අපි එක කණ්ඩායමක් ලෙස දිගින් දිගටම විස්සයි20 තරග ක්‍රීඩාකළා, පුහුණුවීම් හොදින් කළා.

ළහිරු කුමාර නිවැරදි එල්ලයේ පන්දු යවනවා. ඒ වගේම මහීෂ් තීක්‍ෂණත්, පැතුම් නිස්සංකත් හරිම වෙලාවට දක්‍ෂතා අතරට ඇවිත් තියෙනවා. ඔවුන් පුහුණුවීම් හොදින්ම කර තිබෙනවා. කණ්ඩායමේ දක්‍ෂතා ඉහළයාමට පුහුණුකාරිත්ව මණ්ඩලයයේ කැපවීමත් විශේෂයෙන් බලපෑවා.

විශේෂයෙන් මහේල ජයවර්ධනගේ පැමිණීම කණ්ඩායමට ලොකු ආයෝජනයක් වුණා. එයාගෙන් ලැබුණු අදහස් නිසා ක්‍රීඩාගාරය සැහැල්ලු වුණා. හොද පරිසරයක් ඇති වුණා. දැන් තමන්ගේ දේවල් හරියට හදාගන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇවිත් තියෙනවා. තරගාවලියේ ඉදිරි තරගත් ඔවුන් ඉතා හොදින් ක්‍රීඩා කරයි.

පිතිකරණ ලැයිස්තුවේ අංක 03 ස්ථානයේ අසාර්ථකත්වය ගැන

අපි මේ තරගාවලියට ආවේ ලංකාවේ හිටපු හොදම ක්‍රීඩකයෝ එකතු කරගෙන. එනිසා අපට මෙතනින් එහාට හොද ක්‍රීඩකයෝ හොයන්න බැහැ. මෙතන ඉන්න අයගෙන් ලබාගන්න පුළුවන් උපරිම දේ තමයි ගන්න වෙන්නේ.

කෙසේ නමුත් කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ට හැකිවෙලා තියෙනවා තමන්ට කරන්න පුළුවන් දේ උපරිමයෙන් කරන්න. ඒ නිසා ඉදිරියේදී අංක තුන ස්ථානයෙත් අඩුපාඩු සකසාගන්න හැකිවෙයි.

ශ්‍රී ලංකාව තරගාවලියට පැමිණීමේදී තිබු අසාර්ථකක්තය හා අද තත්ත්වය

පිටින් ඉදන් බලන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් නායකයෙක් ලෙස මට ලොකු විශ්වාසක් තිබ්බා මේ තරගාවලියේදී කණ්ඩායමක් ලෙස අපට ලොකු දෙයක් කරන්න හැකිවෙයි කියලා. මම වගේම කණ්ඩායමේ එක් එක් කෙනාට කරන්න පුළුවන් දේ ගැන පුහුණකරුවන් දන්නවා. අපට ලැබෙන්න උපදෙස් ඉතාහොඳයි. ඔවුන්ගෙන් ගන්න පුවවන් දේ ගන්නවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles