Saturday, September 21, 2024

තාජුඩීන් පරීක්ෂණවලට සම්බන්ධ වන්න එපා කිවේ අනුර සේනානායක

කොළඹ අපරාධ කොට්ඨාසය (සී.සී.ඩී.) එක තාජුඩීන්ගේ මරණය සම්බන්ධ පරීක්ෂණයට ඉන්වෝල් වෙන්න අවශ්‍ය නැහැ’යි නියෝග කළ බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා තමාට එම විමර්ශනවලට සම්බන්ධ නොවන ලෙස පැවසුවේයැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ආර්.එල්. රණවීර මහතා රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබේ.

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය ඊයේ (07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේ දී රහස් පොලිසිය මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කළ රහස් පොලිසිය ‍මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දුන්නේ සිද්ධියට අදාළව සී.සී.ටී.වී. දර්ශන කැනඩාවේ කොලොම්බියානු රසායනාගාරය වෙත යොමු කිරීමට විසාවලට අයැදුම් කර ඇති බවත් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද රජයෙන් අනුමත කර දී ඇති බවය.

මීට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට සිටි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ආර්.එල්. රණවීර මහතා රහස් පොලිසිය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත් බවට රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය.

තමන් වෙනත් රාජකාරී කටයුත්තක් සඳහා 2012/05/18 වන දින එවකට බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ කාර්යාලයට ගිය බවත් එහි උසස් පොලිස් නිලධාරින් කිහිපදෙනකු හා තවත් නම අමතක පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ තාජුඩීන්ගේ මරණය සම්බන්ධ සාකච්ඡා කරමින් සිටිය දි තමන් ඇමැතූ අනුර සේනානායක මහතා ‘සී.සී.ඩී. එකට ඉන්වෝල් වෙන්න අවශ්‍ය නැහැ’ යනුවෙන් නියෝග කළ බවට රණවීර මහතා රහස් පොලිසිය වෙත ප්‍රකාශය ලබා දෙමින් ‍පවසා තිබේ. මේ අනුව තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂක ඩී.ආර්.එල්. රණවීර මහතාගේ ප්‍රකාශ සටහන් කිරීමට අවශ්‍ය බව පවසන රහස් පොලිසිය තවත් පොලිස් නිලධාරීන්ගේ ද ප්‍රකාශ ලබා ගත යුතුව ඇති බව පැවසීය.

තාජුඩීන් අවසන්වරට 2012/05/16 දින රාත්‍රියේ මිතුරන් දෙදෙනෙකු සමඟ මත්පැන් පානය කරමින් සිටිය දී එක් මිතුරෙක් වෙත ලැබී ඇති දුරකථන ඇමතුම සම්බන්ධව හා ඝාතනය වූ තාජුඩීන් සමඟ එදින රාත්‍රියේ එකී මිතුරා ගමන් කරන විට ලබාදුන් දුරකථන ඇමතුම සම්බන්ධව ප්‍රශ්න කර ප්‍රකාශ මත විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

සැකකරුවන් වන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා හා බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යන අය බන්ධනාගාර අධිකාරිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ. නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා පැවසුවේ සී.සී.ටී.වී. දර්ශන බ්‍රිටිෂ් කොලොම්බියානු රසායනාගාරය වෙත යොමු කිරීමට අවශ්‍ය වීසා ලබා ගැනීමේ කටයුතුවල පැමිණිල්ල මේ දිනවල නිරතව ඇති බවය.

මීට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසය තාජුඩීන්ගේ මරණයට අදාළ පරීක්ෂණ සඳහා සාක්කි වසන් කිරීමට සහාය ලබා දුන්නේ ද යන්න පිළිබඳව විමර්ශනයක් රහස් පොලිසිය ආරම්භ කර ඇති බව පැවසීය.

පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා තම සේවාදායකයා උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියා කර ඇති බවත් මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙස ඉල්ලීමක් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළේය.

දෙවන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්දික පීරිස් මහතා සිය සේවාදායකයා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඇප ලබා ‍නොදෙන්නේ නම් කොළඹ ජාතික රෝහල වෙත ඔහු යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වෛද්‍ය සභාව අධිකරණයට දැනුම් දුන්නේ හිටපු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර, වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න හා ඩී.කේ. රාජගුරු යන අය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත් ඉදිරියේ දී එහි ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන බවය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප පනතේ 13 වගන්තිය ප්‍රකාරව සැකකරුවන් වෙත ඇප ලබාදීමේ බලය තමන් වෙත නොමැති බවත් ඇප ඉල්ලීම මහාධිකරණය වෙත යොමු කරන ලෙස පවසමින් සැකකරුවන් මේ මස 20 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

මීට අමතරව දෙවන සැකකරුට ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරුන්ගේ නිර්දේශ ප්‍රතිකාර හා අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තා සසඳා විස්තරාත්මක වාර්තාවක් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා එය සලකා නියෝගයක් ලබා දෙන තුරු අනුර සේනානායක මහතා බන්ධනාගාර අධිකාරී මඟින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට නියම කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles