Wednesday, January 1, 2025

තාත්තාගේ වරායට හොඳ ලන්සුවක් නාමල් කීවට-ණය වසර 100කින් ගෙවන්න බැහැ

හම්බන්තොට වරාය රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස ප්‍රවර්ධනය නොකළහොත් ඒවා සඳහා ගෙන ඇති විශාල ණය ප්‍රමාණය වසර සියයකටවත් ගෙවා අවසන් කිරීමට නොහැකි බව වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රනතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය. දිගින් දිගටම දැවැන්ත පාඩුවක් ලබන හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළ ආර්ථිකයට බරක් නොවී පවත්වාගෙන යාමේ දැක්මක් වත්මන් රජය සතු බව ඇමැතිවරයා පැවසීය.

අර්ජුන රණතුංග මහතා ‍මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය ආණ්ඩුව අමෙරිකානු ඩොලර් මිලියන 750ක් පමණ වටිනා වරාය ඉදිකිරීමට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය අරගෙන ඇති බව පැවසූ රණතුංග මහතා අනෙක් මුදල්වලට සිදු වූ දෙයක් නොමැති බව ද පැවසීය.

තාත්තාගේ වරායට හොඳ ලන්සුවක් ලැබී ඇති බවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළත් එම වරාය 2009 වසරේ සිට රුපියල් මිලියන 88 න් පටන්ගෙන 2015 වසර වනවිට එය රුපියල් මිලියන 18782.65 දක්වා ණය වී ඇති බවත් ඇමැතිවරයා කීය.

වසරින් වසර වර්ධනය වන ණය ඉදිරි අවුරුදු 100 කටවත් ගෙවා නිම කිරීමට නොහැකි බැවින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මලික් සමරවික්‍රම ඇමැතිවරයා විදේශ සමාගමක් සමඟ රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස මෙය දියුණු කරන බවත් පෙන්වා දුන්නේය.

පසුගියආණ්ඩුවේ පව්කර ගසන්නට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව පැවසූ රණතුංග මහතා කොළඹ වරායේ ආදායම පවා මෙම ණය ගෙවීම වෙනුවෙන් වෙන් කිරීමට සිදුවන බවද පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා හෝ වෙබ්සයිට්, ෆේස්බුක් මොන මොන ප්‍රකාශ කළත් මේ වරාය පවතින තත්ත්වයෙන් තිබුණ හොත් තව අවුරුදු 50කටවත් ලාභ නොලබන බව ද ඇමැතිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසීය.

මෙම වරාය ඉදිකිරීමට ඇ.ඩො බිලියන 1.5 ක ණයක් ආයෝජනය කර ස්ථාපිත කර ඇති අතර වරාය 2009 සිට 2015 දක්වා රුපියල් මිලියන 88.55, 106, 90.17,718.09,12365.63, 5034 ක් හා 2015දී රුපියල් මිලියන 18782.65 පාඩු ලබා තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතා පවසන පරිදි මෙය සුපිරි තැනක්ද කියලා පැහැදිලියි. මේක වටිනාකමට ගණනය කරලා විදේශ සමාගමක ආයෝජනය කරන්නේ ඇ.ඩොමිලියන 755ක් පමණයි.

වත්මන් ආණ්ඩුව හදන්නේ මේ බර අඩුකරලා රජය හා පුද්ගලික අංශය ඒකාබද්ධ සමාගමක් ලෙස මෙය ඉදිරියට ගෙනයාමයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා:-

රටේ ආර්ථීකයට බරක් වී ඇති මත්තල ගුවන් තොටුපළේ හා හම්බන්තොට වරායේ ණය වත්මන් ආණ්ඩුව මඟින් බේරා ගැනීමට කටයුතු කළත් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සහ සම්මන්ත්‍රණ ශාලවේ ණය බර ජනතාව මත පැටවීමට ඉඩ තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles