Friday, January 24, 2025

තායිවාන් බැංකුවකින් කෝටි 32ක්‌ ඇද්දේ මෙහෙමයි

ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නගරයේ පිහිටි සිටි බැංකුව සහ තායිවානයේ ෆා ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුව මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් සබඳතා පවත්වා ගෙන ගිය ප්‍රධාන පෙළේ බැංකු දෙකකි. පසුගිය 3 වැනිදා ඇමරිකාවේ සිටි බැංකු කාර්ය මණ්‌ඩලය තායිවානයේ ෆා ඊස්‌ටන් බැංකුව හරහා කිසියම් නීත්‍යනුකූල නොවන ගනුදෙනුවක්‌ සිදු වන බව හඳුනා ගත්තේ ඔවුන්ගේ පරිගණක ජාලය හරහා ය.

මේ නීත්‍යනුකූල නොවන මුදල් ගනුදෙනුව සිදු වී තිබුණේ ඉකුත් 03 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 3 – 5 අතර කාල සීමාවේදීය.

එහි විශේෂත්වය වන්නේ මෙම නීත්‍යනුකූල නොවන ගනුදෙනුව සිදු වූ ඔක්‌තෝබර් 03 වැනිදා ඇමරිකාවේ, තායිවානයේ මෙන්ම ශ්‍රී ලංකාවේද නිවාඩු දිනයක්‌ වීමය.

නිව්යෝර්ක්‌ සිටි බැංකුව මගින් සොයා ගත් මෙම අයථා මුදල් ගනුදෙනු සිද්ධිය පිළිබඳව ඔවුන් වහාම තායිවාන ෆා ඊස්‌ටන් බැංකුව දැනුවත් කිරීමට කටයුතු කළහ.

ඒ වන විට ෆා ඊස්‌ටන් බැංකුවේ පරිගණක ජාලය මුළුමනින් ම අක්‍රමවත් වී තිබිණි. තම බැංකුවේ පරිගණක ජාලය වෙත සයිබර් ප්‍රහාරයක්‌ එල්ල වී ඇති බව ෆා ඊස්‌ටන් බැංකුව දැනගන්නේ ඉන් පසුවය.

ඇමරිකාවේ සිටි බැංකුව ඒ වන විට මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය වෙත පැමිණිලි කර තිබුණේය. මෙම සයිබර් ප්‍රහාරය සමස්‌ත බැංකු පද්ධතිය වෙතම එල්ලවූ දැවැන්ත තර්ජනයක්‌ නිසා ඒ පිළිබඳව වහාම විමර්ශන කරන ලෙස සිsටි බැංකුව ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලා සිටියේය.

තායිවානයේ ෆා ඊස්‌ටන් බැංකුව තම පරිගණක ජාලය ප්‍රකෘති තත්ත්වයට පත් කරගෙන මේ පිළිබඳව පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කළහ.

එම විමර්ශනයෙන් හෙළි වූයේ තම බැංකුවේ ගිණුම්වල තිබූ ඩොලර් මිලියන 60 කට අධික මුදලක්‌ ඒ වන විට අතුරුදන්ව ඇති බවය. මෙම ඩොලර් මිලියන 60 ක මුදල රටවල් තුනක බැංකු ගිණුම්වලට මාරු වී ඇති බව ෆා ඊස්‌ටන් බැංකුව සොයා ගත්හ.

ඩොලර් මිලියන 60 ක්‌ යනු ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 924 ක්‌ තරම් විශාල මුදලකි.

ෆා ඊස්‌ටන් බැංකුව සහ ඇමරිකාවේ සිටි බැංකුව ඒකාබද්ධව කළ විමර්ශනයකිsන් හෙළි වූයේ මෙම විශාල මුදල් ප්‍රමාණය කාම්බෝජය, ඇමරිකාව සහ ශ්‍රී ලංකාවේ බැංකු කිහිපයකට බැර කරගෙන ඇති බවය. ෆා ඊස්‌ටන් බැංකුව වහාම මේ පිළිබඳව අදාළ රටවල් තුනේ බැංකුවලට දැනුම් දීමට කටයුතු කළහ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවක්‌ වන ලංකා බැංකුවේ ගිණුම් හිමියකුගේ බැංකු ගිණුම වෙත ඩොලර් මිලියන 2.1 ක මුදලක්‌ බැර වී තිබෙන බව ද ෆා ඊස්‌ටන් බැංකුව අනාවරණය කරගෙන තිබිණි.

ඒ වන විට අන්තර්ජාතික පොලිසිය මගින් ද මේ පිළිබඳව පුළුල් විමර්ශන ආරම්භ කර තිබුණේය. ඔවුන් අදාළ රටවල අපරාධ අංශ වෙත මෙම මූල්‍ය වංචාව පිළිබඳව දැනුම් දී තිබුණේ වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලෙස ඉල්ලමින් ය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (ක්‍ෂD) වෙත මේ සම්බන්ධයෙන් මුල්ම පැමිණිල්ල ලැබෙන්නේ අන්තර් ජාතික පොලිසිය හරහා ය.

ලංකා බැංකුවේ පෞද්ගලික බැංකු සේවා අංශයේ කළමනාකරු ජගත් අනුරසිරි කුරුප්පු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක්‌ කර තිබුණේ තම බැංකුව වෙත අයථා මුදල් ගනුදෙනුවක්‌ සිදු වී ඇති බව කියමිනි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස්‌ අධිකාරි ඒ. අම්පාවිල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ මේ මහා මූල්‍ය වංචාව පිළිබඳව විමර්ශන ආරම්භ කළහ.

තායිවානයේ ෆා ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලින් ලංකා බැංකු ගිණුම වෙත මුදල් මාරු කර ගත් ගිණුම් හිමියා කවුදැයි සී. අයි. ඩී. නිලධාරීන් සොයන්නට වූහ.

මෙම වංචාව පිළිබඳව අන්තර් ජාතික පොලිසිය සී.අයි.ඩී.යට දැනුම් දී තිබුණේ පසුගිය 06 වැනිදාය. සිය විමර්ශන කටයුතු එදිනම ආරම්භ කළ සී. අයි. ඩී. ය. මෙම ෆා ඊස්‌ටන් බැංකුවේ මුදල් තම ගිණුමට බැර කර ගත් පුද්ගලයා හඳුනා ගත්තේය.

මෙම ගිණුම් හිමියා ජනක චමින්ද නම්මුණි නමැත්තෙකු බවත් ඔහු පදිංචිව සිටින්නේ රාජගිරිය ෙෆයාවේල් එපාර්ට්‌මන්ට්‌ හි බවත් හෙළි කර ගත් සී.අයි.ඩී.ය එදිනම එම පුද්ගලයා අත්අඩංගුවට ගත්හ.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු යුද හමුදාවේ රාජකාරි කළ මේජර් ජනරාල් ජාලිය නම්මුණි මහතාගේ පුත්‍රයා බව අනාවරණය විය. එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි ජනක චමින්ද නම්මුණි එංගලන්තයේ විශ්වවිද්‍යාලයක ගෞරව උපාධියක්‌ ලැබූවෙකි.

අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි ජනක චමින්ද ඉදිකිරිම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන ගිය අයෙකි.

ජනක චමින්දගේ බැංකු ගිණුම පරීක්‍ෂා කළ සී. අයි. ඩී.ය එහි තැන්පත් කර තිබූ රුපියල් කෝටි දෙකකට අධික මුදලක්‌ මැයි 06 වැනිදා ලබාගෙන ඇති බව අනාවරණය කර ගත්තේය.

එම ගිණුමට බැර වී තිබූ තවත් රුපියල් ලක්‍ෂ 1200 කට අධික මුදලක්‌ සොයාගත් සී.අයි.ඩී.ය ගිණුම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්හ.

ජනක චමින්දගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ මෙම මහා මූල්‍ය වංචාව ජාත්‍යන්තර මට්‌ටමෙන් සිදු වී ඇති බවය.

සංවිධානාත්මක කල්ලියක්‌ විසින් සිදුකළ මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ අනෙක්‌ ශ්‍රී ලාංකිකයා කවුදැයි හෙළිකර ගැනීමට සී. අයි. ඩී. යට හැකි විය.

ශ්‍රී ලංකාවට මහා අපකීර්තියක්‌ ගෙන දීමට සමත් වූ මෙම මූල්‍ය වංචාවේ අනෙක්‌ සැකකරු ලිට්‍රොa ගෑස්‌ සමාගමේ සභාපති ශලීල මුණසිංහ බව සී.අයි.ඩී. ය හඳුනා ගත්තේය.

කොළඹ පිහිටි ලංකා බැංකු ශාඛාවක්‌ වෙත ගොස්‌ ජගත් චමින්ද නම්මුණි සමඟ රුපියල් කෝටි දෙකක මුදලක්‌ මාරු කර ගැනීමට ශලීල මුණසිංහ සම්බන්ධ වූ බව සී. අයි.ඩී.ය සොයා ගත්තේ එම බැංකුවේ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කිරීමෙන් පසුවය.

මෙම මහා මූල්‍ය වංචාවට ජනක චමින්ද සහ ශලීල මුණසිංහ සමඟ ඉන්දීය ජාතිකයකු ද සම්බන්ධ වී සිටියේය. ලංකා බැංකුවෙන් මුදල් මාරු කර ගැනීම සඳහා මෙම ඉන්දීය ජාතිකයා ද ගොස්‌ තිබිණි.

එසේ ලබාගත් මුදල් මොවුන් බෙදාගෙන තිබුණේ ලිට්‍රෝ ගෑස්‌ සමාගමේ සභාපති ශලීල මුණසිංහගේ කාර්යාලයේදී ය. සියලු තොරතුරු තහවුරු කර ගත් සී. අයි. ඩී. ය ශලීල මුණසිංහ අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කළහ.

එහෙත් ඒ වන විට ශලීල මුණසිංහ අතුරුදන්ව සිටියේය. ශලීල මුණසිංහ රටින් පලා යැම වළක්‌වාලමින් අධිකරණ නියෝගයක්‌ ලබා ගැනීමට සී.අයි.ඩී. ය කටයුතු කළේය.

ශලීල මුණසිංහ කොළඹ එක්‌තරා ප්‍රධාන පෙළේ විහාරස්‌ථානයක සැඟ වී සිටින බව හෙළි විය. ශලීල මුණසිංහට රජයේ එක්‌තරා ප්‍රබල මන්ත්‍රීවරයකුගේ

රැකවරණය ලැබී තිබෙන බව ද අනාවරණය වී තිබුණේය. මෙම දේශපාලනඥයා පසුගිය කාල සීමාවේ රටේ සිදුවූ අයථා මුදල් ගනුදෙනු

රැසක්‌ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙකි.

ශලීල මුණසිංහ කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට සී.අයි.ඩී.ය විමර්ශන කරද්දී 07 වැනිදා සවස ඔහු නීතිඥයන් තිදෙනකු මාර්ගයෙන් භාර වුණේය. ශලීල මුණසිංහ ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය පවා නොමැති පුද්ගලයෙකි. ඔහු එංගලන්තයේ පුරවැසිභාවය ලබාගෙන සිටි අයෙකි.

ෆා ඊස්‌ටන් බැංකුවේ මුදල් වංචාවට සම්බන්ධ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගැනීමට සී.අයි.ඩී.ය විමර්ශන ආරම්භ කළේය. එහෙත් ඒ වන විටත් ඔහු ඉන්දියාවේ මුම්බායි නගරයට පලා ගොස්‌ සිටියේය. මේ ඉන්දීය ජාතිකයා රුපියල් කෝටි එකහමාරක මුදලක්‌ ද රැගෙන ගිය බවට හෙළිකර ගැනීමට සී.අයි.ඩී.යට හැකි විය.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සී.අයි.ඩී.ය පුළුල් විමර්ශනයක්‌ ක්‍රියාත්මක කළ ද ෆා ඊස්‌ටන් බැංකුවේ ගිණුම්වලට ඇතුළුවී (හැක්‌ කර) මුදල් ලබා ගැනීම සිදු කළේ කොහේ සිට දැයි සොයා ගැනීමට නොහැකි විය. සී.අයි.ඩී.ය සැක පහළ කරන්නේ මෙම මූල්‍ය වංචාව ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවූ බවට කිසිදුÊසාක්‍ෂියක්‌ මේ වනතුරු ලැබී නොමැති බවයි.

මේ අතර ජාත්‍යන්තර පොලිසිය මගින් සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ ෆා ඊස්‌ටන් බැංකුවෙන් වංචා කළ ඩොලර් මිලියන 60 ක මුදලින් ඩොලර් මිලියන 57 ක්‌ ම කාම්බෝජයේ බැංකුවකට මාරු කර ඇති බවයි.

මෙසේ වංචා කළ මුදලින් ඩොලර් මිලියන දෙකක්‌ ලංකා බැංකුව වෙත බැර කර තිබූ අතර, ඉතිරි ඩොලර් මිලියනයක මුදල ඇමරිකාවේ බැංකුවකට බැර කර ඇති බව ද ජාත්‍යන්තර පොලිසිය හෙළිකර ගත්තේය.

මෙම මහා මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ජනක චමින්ද නම්මුණි සහ ශලීල මුණසිංහ යන අයට මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරීමට සී.අයි.ඩී.ය කටයුතු කළහ.

මුදල් විශුද්ධිකරණයට අදාළ නීති රීතිවලට අනුව මොවුන්ට වසර 5 ත් 20 ත් අතර කාලයක සිර දඬුවමක්‌ ලබා දිය හැකිය. ෆා ඊස්‌ටන් බැංකුවේ මුදල් වංචාවට සම්බන්ධ කල්ලියේ ශ්‍රී ලංකාවේ සිටින සැකකරුවන් දෙදෙනා වන ජනක චමින්ද සහ ශලීල මුණසිංහ එකිනෙකා හඳුනන්නේ වසර කීපයක සිටය.

ඔවුන් දෙදෙනා අතර දැඩි මිතුරුදමක්‌ නොතිබූ බව ද සී.අයි.ඩී.ය කළ විමර්ශනවලින් හෙළි වී තිබිණි.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය සඳහා සහාය වීමට තායිවාන අපරාධ අංශයේ නිලධාරීන් දෙදෙනකු සහ ෆා ඊස්‌ටන් බැංකුවේ නිලධාරියකු ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත තම කෘතඥතාව පළ කළේ වංචාව සිදු වී දින දෙකක්‌ ගත වීමට පෙර ඊට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නිසා ය.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කාම්බෝජ පොලිසිය තායිවාන පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය විමර්ශන කරගෙන ගිය ද ඊට සම්බන්ධ කිසිදු අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමට මෙතෙක්‌ සමත් වී නැත.

කෙසේ වෙතත් සමස්‌ත බැංකු පද්ධතියම අනාරක්‍ෂිත තත්ත්වයට පත් කළ මේ මහා මූල්‍ය වංචාව පිළිබඳ සියලු තතු අනාවරණය කර ගෙන ඊට සම්බන්ධ අපරාධකාරයන් වහා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය කටයුතු කළ යුතුය. බැංකු ක්‍ෂේත්‍රය මෙසේ අනාරක්‍ෂිත තත්ත්වයට පත් වූවොත් රටේ ආර්ථිකය කඩා වැටීම වැළැක්‌විය නොහැක.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ ලෙස ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත්ව සිටියි. රාජ්‍ය දේපොළ වස්‌තුව කොල්ලකන දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් සිටින රටක්‌ ලෙස ද ශ්‍රී ලංකාව විශාල ප්‍රසිද්ධියක්‌ ලබා ගෙන හමාරය.

වෙනත් රටවල බැංකු ගිණුම්වලට හොර රහසේ ඇතුළු වී ඒවායේ රහසිගත දත්ත වෙනස්‌ කර රුපියල් කෝටි ගණන් මුදල් කොල්ල කන රටක්‌ ලෙස ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත්වූවොත් රටට අත්වන ඉරණම කුමක්‌ වේද?

රාජ්‍ය දේපොළ දේශපාලනඥයන් විසින් ප්‍රසිද්ධියේම කොල්ලකෑම මහා පරිමාණයෙන් සිදු වන්නට පටන් ගත්තේ පසුගිය රජය සමයේදී ය. රාජ්‍ය දේපොළ කොල්ලකෑම නීත්‍යනුකූල තත්ත්වයට පත්වන තරමටම එය ඉහවහා ගොස්‌ තිබුණේය.

වර්තමාන රජයේ පාලනය යටතේ ද එහි වෙනසක්‌ නොමැත. යහපාලන රජය බලයට පත් වී වැඩි දවසක්‌ යන්නට පෙර ඉතිහාසයේ සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව සිදු වුණේය. මහ දවල් මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර මගඩිය ඉතිහාසයේ එකවර සිදු වූ විශාලතම මුදල් කොල්ලය විය.

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අර්ජුන් මහේද්‍රන් සිංගප්පූරුවේ පුරවැසිභාවය ලබා සිටින පුද්ගලයෙකි. රටේ කීර්තිනාමය කෙළෙසා දමා රටේ ආර්ථිකය ද විනාශ කර දමන තත්ත්වයට පත් කළ තායිවාන බැංකු වංචාවේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු වන ජනක චමින්ද නම්මුණි රටින්ම පුරවැසි භාවය ලැබූවෙකි. ශලීල මුණසිංහ එංගලන්තයේ පුරවැසියෙකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles