අපේ රටේ සුවිශිෂ්ට පුවත්පත්කලාවේදියකු වූ දයාසේන ගුණසිංහයන් අප අතරින් නික්ම ගොස් ඔක්තෝබර් 07 එනම් වසර 25ක් සපිරැණි. ඔහු විසින් 1989 නොවැම්බර් මස 06 වැනි දින, ‘විදුසර’ පුවත්පතේ දෙවර්ෂ පූර්ණ අතිරේකයට ලියන ලද මෙම ලිපිය උපුටා දක්වන්නේ ගුණසිංහ මහතා වෙත කරන උපහාරයක් වශයෙනි. දශක තුනකට පෙර ඔහු විසින් මෙම ලිපිය මගින් ඉදිරිපත් කරන අදහස් පුවත්පත්කලාවේදී ඔහු පිහිටා සිටි ආස්ථානය අනාවරණය කරන ඓතිහාසික ලේඛනයක් වන්නේය.
‘දෙවියන් වහන්සේ යම් අයකු සමග ඉතා තදින් උරණ වූ විට එම තැනැත්තා තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියකු බවට පත් කරතැ’යි කියමනක් පුවත්පත් ලෝකයේ වෙයි. සැබැවින්ම තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා වෙත පැවරී ඇත්තේ මෙහෙවරක් නොව දඬුවමක් යැයි සිතෙන තරමට ඔහුගේ වෘත්තිය දුෂ්කරය. එමෙන්ම කටුකය. එහෙත් ඇතැම් විට එය අන් කිසිදු වෘත්තියකින් නොලැබිය හැකි තරමේ තෘප්තියක් හා චෛතසික සුවයක් ලබා දෙන වෘත්තියක් බවද කිය යුතු වේ.
තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියාට තම මෙහෙවර ඉටු කිරීමට සිදු වී ඇත්තේ ස්ථාවර සමාජයක නොව කැළඹී ඇළලී යන චංචල සමාජයකය. බොහෝ විට එම සමාජය පවතින්නේ නිදහස් රාජ්‍යයක් ලෙස වර්ධනය වීමේ ප්‍රාරම්භක අදියරේය. එසේ නොමැති නම් ඊටත් වඩා මඳක් දියුණු අදියරකය.
තම රටේ දේශපාලන නායකයින්ගේ චින්තනයේ හා ආකල්ප විකල්පයන්හි ස්ථාවරභාවයක් තිබේ යැයි උපකල්පනය කොට ඒ අනුව කටයුතු කිරීමට පුළුවන්කමක් තුන් වැනි ලෝකයේ පුවත්පත් කලාවේදියාට නොමැත. දේශපාලකයින්ගේ මෙම චංචල ස්වාභාවය හා එමගින් හිමි කැරෙන චපල බව පාලන තන්ත්‍රය ඔස්සේ පරිපාලන යන්ත්‍රයටත් ඒ ඔස්සේ සමස්ත සමාජයටත් කිඳා බසී. ඊට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය ඇති පුවත්පත් ආයතන පවා විරලය.
මේ අන්දමින් නිරන්තර වෙනස්වීම්වලට භාජනය වන සමාජයක වෙසෙන පුවත්පත් කලාවේදියාට යටත් පිරිසෙයින් තම රැකියාව ගැන හෝ තම වැටුපෙහි සැබෑ මූල්‍ය අගය ගැන පවා එතරම් විශ්වාසයක් තබා කටයුතු කළ නොහැකිය. ඔහු සේවය කරන පුවත්පත මුද්‍රණ කඩදාසි නොමැතිකමින් හෝ අන් බාධා තහංචියක් නිසා හෝ හදිසියේ වැසී යා හැකිය. එසේම, ඊළඟ මාසය වන විට ඔහුගේ වේතනයේ සැබෑ මූල්‍ය අගය සියයට තිහ හතලිහකින් පමණ වුව පහත වැටිය හැකිය.
එහෙත් මේ සියල්ල මධ්‍යයේ නොසැලී සිටීමේ ශක්තිය ඔහු සතු විය යුතු වේ. සමාජය කෙරෙහි ඔහුගේ වගකීම ඉතා බරපතළය. බටහිර ලෝකයේ තම සගයින්ට වඩා තියුණු සංවේදීභාවයක් හා පරමාදර්ශීභාවයක් ඔහු තුළ තිබිය යුතු වේ. යහපත් සමාජයක් හා ස්ථාවර රාජ්‍යයක් ගොඩනැංවීමේ භාරදූර කාර්යයෙන් අති විශාල කොටසක් තමන් වෙත පැවරී ඇති බැව් ඔහු අමතක කළ යුතු නොවේ.
මෙහිදී බටහිර ලෝකයේ පුවත්පත්කලාවේදීන් මෙන් හුදෙක් සන්නිවේදකයින් වශයෙන් පමණක් ක්‍රියා කිරීම ප්‍රමාණවත් නොවේ. තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියාගේ මෙහෙවර ඉතා සංකීර්ණය. විටෙක ඔහු සන්නිවේදකයකු පමණක් නොව ගුරුවරයකු හා උපදේශකයකුද විය යුතුය. තවත් විටෙක විනිසුරුවකු විය යුතුය. එසේම සමාජ ශෝධකයකු සහ උද්ඝෝෂකයකු ලෙස අගතියට හා දූෂණයට එරෙහිව නිරතුරුව සටන් වදින සෙබළෙකු ලෙසද ක්‍රියා කිරීමට ඔහුට සිදුවේ. මේ අන්දමින් ඔහුගේ මෙහෙවර සන්නිවේදනය පිළිබඳ බටහිර සංකල්පයට ඉඳුරා වෙනස්ය.
පුවත්පතෙහි පළවන කවර නම් දෙයක් හෝ වේවා අවබෝධයට ගැනීමේ හැකියාව හා ඊට අවශ්‍ය දැනුමත්, පුවත්පතක් මිල දී ගැනීමේ ආර්ථික ශක්තියත් පාඨකයාට තිබේය යන්න බටහිර ලෝකයේ නියත සම්මතයකි. ඒ ගැන තවත් සිතා බලන්නට දෙයක් නැත. එහෙත් තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියාට එවැනි සම්මතයක පිළිසරණයක් නැත. තම පාඨකයින් අතර උගත්කමින්, දැනුමෙන්, අවබෝධයෙන් හා මූල්‍ය ශක්තියෙන් විවිධ මට්ටම්වලට අයත් නන් වැදෑරුම් පුද්ගලයින් සිටින බැව් ඔහුට මොහොතකටවත් අමතක කළ නොහේ. තමන් දැන උගත්කම් ඇති පිරිසකට තොරතුරු හා ආරංචි සපයන්නකු සේම එම භාග්‍යය නොලද පිරිසක් දැනුවත් කාර්ය භාරයටද උර දෙන්නකු බැව් හැම විටම සිහියේ තබා ගැනීම ඔහුගේ යුතුකමකි.
තුන්වැනි ලෝකයේ බොහෝ දෙනා නිතර නව අත්දැකීම්වලට මුහුණ දෙන අය වෙති. නිදසුනක් වශයෙන් ගතහොත් තුන්වැනි ලෝකයේ බොහෝ ගම්මානවලට විදුලිය ලැබෙන්නට පටන්ගෙන ඇත්තේ දැන්ය. එම ගැමියන්ට විදුලි බල ශක්තිය හා එහි භාවිතය පිළිබඳ දැනුමක් ලබාගැනීම, ජනප්‍රිය නිළියකගේ අලුත්ම ප්‍රෙම සම්බන්ධය ගැන දැන ගැනීමට වඩා වැදගත් වේ.
කියවීම හා ලිවීම එතරම් ව්‍යාප්ත නොවූ රටක පුවත්පත්කලාවේදීන්ගේ කාර්යභාරය වඩාත් බැරෑරුම්ය. එවැනි පසුබිමක පුවත්පත් කියවන උදවිය සිටින්නේ ඉතා අල්ප වශයෙනි. ජනමතය මෙහෙයවන්නෝද ඔවුහුම වෙති. එබඳු සමාජයක ඇත්තේ එකම පුවත්පතක් පමණක් නම් එහි වගකීම වඩාත් බැරෑරුම් වේ.
තුන්වැනි ලෝකයේ බොහෝ රටවල පුවත්පත් හා වෙනත් ජනමාධ්‍ය යටත් විජිත යුගයේ අධිරාජ්‍යවාදී ස්වාමිවරුන්ගේ අවශ්‍යතා සපුරාලීමට පිහිටුවන ලද ඒවා විය. එම ජනමාධ්‍ය රටේ බහුතරයගේ නොව, රජයේ හා සමාජයේ ඉහළ යැයි කියන මට්ටම්වල උදවියගේ රුචි අරුචිකම් හා වුවමනා එපාකම්වලට සරිලන සේ හැඩගැසුනේද විය. මෙම යුගයේ නෂ්ටාවශේෂ මේ රටේ ඇතැම් ඉංග්‍රීසි පුවත්පත්වල අදත් දක්නට ඇත.
එනමුත් පොදු වශයෙන් ගත් කල අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. බහුතර පාඨකයින්ගේ සිතුම් පැතුම් වෙනස් වී යමින් පවතී. එම වෙනස්වීම් සමාජයට හිතකර ලෙස මෙහෙයවීමේ කාර්යභාරය පුවත්පත්කලාවේදියා වෙතද පැවරෙයි. ජාතික හා සමාජ අනන්‍යතා පරිවර්තනයට ලක්වන අතර, පුවත්පත එම පරිවර්තනයෙහි කැඩපත විය යුතුද වේ.
රටේ පාලනය මෙහෙයවන හා රටේ ඉරණමට බලපාන තීරණ ගන්නා පුද්ගලයින්ට ඔවුන්ගේ ක්‍රියාමාර්ග, ප්‍රතිපත්ති මාර්ග හා විවිධාකාර තීරණ සම්බන්ධයෙන් ජනතාව දක්වන ප්‍රතිචාර පෙරළා සන්නිවේදනය කිරීමේ වගකීම බටහිරට වඩා බැරෑරුම් ලෙස තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා වෙත පැවරේ. සන්නිවේදනය යනු හුදෙක් සන්නිවේදකයාගේ සිට ග්‍රාහකයා වෙත ගලා යන්නක් පමණක් නොවිය යුතුය. ප්‍රතිසන්නිවේදනය හෙවත් ග්‍රාහකයාගේ ප්‍රතිචාරය සන්නිවේදකයා වෙතටද ආපසු ගලා යාම ද පරිපූර්ණ සන්නිවේදනයේ අනිවාර්ය අංගයක් විය යුතුය. මෙනයින් තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා විසින් ජනතාවගේ භෞතික මෙන්ම මානසික අවශ්‍යතාද, බලාපොරොත්තු හා අපේක්ෂාද, භයශංකාද, විවිධ මතිමතාන්තරද දේශපාලන නායකයන් හා වෙනත් ප්‍රමුඛයන් වෙත ප්‍රතිසන්නිවේදනය කළ යුතුය. මෙවැනි පුවත්පත්කලාවේදියකු යම් පාලනයක් විසින් සතුරකු හෝ කඩාකප්පල්කාරයකු ලෙස සලකන්නේ නම් එය එම පාලනයෙහි පමණක් නොව එම පාලනයට යටත් ජනතාවගේද මහත් අභාග්‍යයකි.
මේ අන්දමින් පාලකයා සහ පාලිතයා අතර අවරෝහණ සහ ආරෝහණ වශයෙන් සන්නිවේදනයේ යෙදෙන අතරම වැසියා හා වැසියා අතර සමාන්තර සන්නිවේදනයකට මඟ පාදා දීමද තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියාගේ වගකීමකි. මිනිසුන්ට තම තමන්ගේ අදහස් උදහස් හුවමාරු කරගැනීමටත්, මතවාද පිළිබඳව සංවාදයෙහි යෙදීමටත් අවකාශ තිබිය යුතුය. සමාජයක දියුණුවට හේතුවන නව බුද්ධිමය ප්‍රවණතා සහ නව චින්තන රටා බිහිවන්නේ එවිටය.
බටහිර ලෝකය පිළිබඳ සාම්ප්‍රදායික මිථ්‍යා සංකල්පවලින් මිදී එය හේතුවාදී ලෙස අවබෝධ කර ගැනීමට තම පාඨකයින්ට මං සැලසීමද තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියාගේ සුවිශේෂ කාර්යභාරයක් වේ. තුන්වැනි ලෝකයේ සියලු රටවලට පොදු වූ එක් සාධකයක් නම් බටහිර ලෝකය මත රඳා පැවතීමයි. ඉන් මිදීමට ඇති මඟ යටත් විජිතවාදී භාවයේ විවිධ වේශයන්ගෙන් නිදහස් වීමයි. මෙහිදී සන්නිවේදකයා වෙත පැවරෙන වගකීම ඉතා බැරෑරුම්ය. ඊට නිදසුනක් ලෙස අපි එන ප්‍රශ්නයක් ගනිමු. එනම් සංවර්ධනය විය යුත්තේ යුරෝපය හෝ ඇමරිකාව අනුව යමින්ද යන්නයි. එම සංවර්ධන සංකල්පයන් තුන්වැනි ලෝකයේ යම් රටකට නොගැලපෙනවා පමණක් නොව අනතුරුදායකද විය හැකිය. මෙහිදී අනුකරණයේ විපාක කල්වේලා ඇතිව පෙන්වා දීම පත්‍රකලාවේදියාගේ යුතුකමකි. එසේම බැහැරින් එන සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී සංවර්ධන සංකල්ප ගැනත් න්‍යායික බැඳීම්වලින් තොරව සලකා බැලීමට තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා සමත් විය යුතුවේ.
එසේම තුන්වැනි ලෝකය පිළිබඳ සැබෑ අවබෝධයක් බටහිර ලෝකයාට දීමත් තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියාගේ මෙහෙවරකි. විදේශික වාර්තාකරුවන් තුන්වැනි ලෝකය ගැන බටහිරට සපයන ප්‍රවෘත්ති වාර්තා බොහෝ විට ඔවුන් කියවන හෝ අසන දේවලටත් මතුපිට දක්නා දේවලටත් සීමා වේ. මෙය ඇතැම් විට අතිශයින් බිහිසුණු ප්‍රතිඵල ඇති කරවයි. තුන්වැනි ලෝකය පිළිබඳ සැබෑ අවබෝධයක් යුරෝපයට හෝ ඇමරිකාවට වී නම් තුන්වැනි ලෝකය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ ආක්‍රමණික පිළිවෙත සහ වෙනත් දේශපාලනමය ඇඟිලි ගැසීම් වළක්වා ගත හැකිව තිබිණි. එම රටවල විදේශ ප්‍රතිපත්ති ජනමතය මගින් මෙහෙයවීමට පුළුවන. ඇමරිකාව අවසානයේදී වියට්නාමයෙන් ඉවත්වීමට ප්‍රමුඛ හේතුව වූයේ ඇමරිකානු ජනමතයයි.
අවසාන වශයෙන් තවත් යමක් කිව යුතුය. එනම් තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා සමාජයේ සෙසු උදවියටත්, විශේෂයෙන්ම තරුණ පරපුරටත් ආදර්ශයක් විය යුතු බවයි. තමන්ගේ විශ්වාසය දිනාගත් පත්‍රකලාවේදීන් ඇතුළු විවිධ කලාකරුවන් තම ආදර්ශක අනුරූපයන් ලෙස ගැනීම තරුණ පරපුරේ ස්වභාවයකි. නිදහස් ලෙස, දක්ෂ ලෙස හා ආචාර ධර්මානුකූලව ක්‍රියාකරන පුවත්පත්කලාවේදියා මේ අතින් සමස්ත සමාජයටම මහඟු ආදර්ශයක් වේ.
ඉහත සඳහන් ගුණාංග සියල්ලෙන්ම පරිපූර්ණ වූ යම් පුවත්පත්කලාවේදියකු තුන්වැනි ලෝකයේ වෙතොත් හේ නමස්කාරයට පාත්‍ර විය යුතු පරමාදර්ශී මිනිසකු වන්නේය. එහෙත් එවැනි මිනිසුන් පෘථග්ජන ලෝකයේ සිටිය නොහැකිය. එසේ වුවද පුවත්පත්කලාවේදියා පෘථග්ජනයන් අතර සුවිශේෂ පෘථග්ජනයෙකි. සමානයන් අතර ප්‍රමුඛයෙකි. එහෙයින් ඔහු තුළ එම ගුණාංග යම් පමණකින් හෝ තිබිය යුතුය. එසේම ඔහු පරමාදර්ශී වීමට නිරන්තර වෑයමක යෙදී සිටින්නකු ද විය යුතුය. මන්දයත් අනාගත අපේක්ෂාවන්ගෙන් පිරී ගිය ලක්ෂ සංඛ්‍යාත දෑස් ඔහු වෙත යොමු වී ඇති බැවිනි. එසේම ඔහුගේ ව්‍යායාමය ඔහුගේ පැවැත්මට වඩා සමස්ත සමාජයේම යහපත සඳහා කෙරෙන්නක් බැවිනි