Sunday, September 22, 2024

තුර්කියේ අර්බුදය පාලනය කළ බව එරට ජනපති පවසයි – 40 මරුට, 700 ක් අත්අඩංගුවට

තුර්කියේ හටගත් අර්බුදකාරී තත්ත්වය මේ වන විට සම්පුර්ණයෙන් පාලනය කර ඇති බව එරට ජනාධිපති රිසෙඩ් ටායිට් ඉඩෝගන් ප්‍රකාශ කර ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

තුර්කියේ හමුදා කුමන්ත්‍රණයන් හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයක් හට ගත් අතර එම ගැටුම්වලින් පුද්ගලයින් 40 දෙනෙකු පමණ මියගොස් තිබේ.

කෙසේ වෙතත් මේ වන විට අදාළ කුමන්ත්‍රණයට සම්බන්ධ බව කියන හමුදා සාමාජිකයින්  700කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද එරට ජනාධිපතිවරයා පවසා තිබේ.

හමුදා සාමාජිකයින් තුර්කියේ අගනුවර වන අන්කාරා නගරය සහ ඉස්තාන්බූල් නගරය අත්පත්කර ගත් අතර මේ වන විට හමුදාව සිදු කළ අත්පත් කරගැනීම් පාලනය කර ඇති බව කුර්කි බුද්ධි අංශ අනාවරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ සිද්ධියෙන් අනතුරුව ඉස්තාන්බූල් ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් අතර මේ දක්වාත් එහි කිසිඳු කටයුත්තක් සිදු නොවන බව වාර්තා වෙයි.

මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තුර්කි පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද(16) පස්වරු 02.00 පැවැත්වීමට ද තුර්කි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබේ.

මේ අතර තුර්කියේ හටගත් තත්ත්වය හේතුවෙන් තුර්කියේ වෙසෙන කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති පී.ඒ අම්සා මහතා පවසයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය පිළිබඳව තුර්කි තානාපති කාර්යාලය අවධානය යොමු කර ඇති බව ඔහු සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles