Saturday, September 21, 2024

තුර්කිය කැළඹෙයි – පාලන බලය හමුදා කණ්ඩායමක් අතට…

තුර්කියුද හමුදාවේ කණ්ඩායමක් විසින් හමුදා කුමන්ත්‍රණයකින් එරට පාලන බලය ඔවුන්ගේ බාරයට ගත් බව පවසා තිබේ.


තුර්කියේ රූපවාහිනි නාලිකාවකින් මේ බව විකාශය කර ඇති අතර එමඟින් සඳහන් කර ඇත්තේ තුර්කියේ, ඉස්තාන්බූල් නගරයේ උපායමාර්ගික වශයෙන් ස්ථානවල බලය එම හමුදා කණ්ඩායම විසින් තහවුරු කරගෙන ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සුරක්ෂිත කිරීමට මෙම පියවර ගත් බව එරට හමුදා කණ්ඩායමේ පළමු අණදෙන නිලධාරියා පවසා ඇතැයි සඳහන්ය.

තුර්කි හමුදා එරට ජාතික බුද්ධි මූලස්ථානවලට ප්‍රහාර එල්ල කර ඇති බවක්ද පැවසෙන අතර ඇන්කාරා හා ඉස්තාන්බූල් හි මාර්ග බාධක යොදා මාර්ග කිහිපයක් වසා දමා ඇතැයිද විදෙස් වාර්තා පවසයි.

මේ අතර තුර්කි ජනාධිපති රිසෙප් තයිප් එර්දෝගන් පැවසුවේ මීට එරෙහිව ජනතාව වීදි බැසිය යුතු බවද ජනතාවගේ බලය කිසිවෙකුට යට කළ නොහැකි බවය.

අගමැතිවරයාද හමුදා කුමන්ත්‍රණය මුළුමනින්ම නීති විරෝධී බව පවසා ඇති අතර තවමත් බලය රජයේ පාලනය යටතේ පවතින බව හෙතෙම පවසා ඇත.

කෙසේ වුවද ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ද හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලාගත් බව කියන කණ්ඩායම විසින් සිය බාරයට ගෙන ඇති අතර එරට ගුවන් ගමන් ද අත්හිටුවා ඇතැයි පැවසේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා පැවසුවේ  ප්‍රජාතන්ත්‍රවාදීව එරට බලයට පත්වූ රජයට ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට  තුර්කියේ සියලු පක්ෂ සහය දිය යුතු බවයි.

මේ අතර තුර්කියේ මේවන විට  හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින්නන් අතර ශ්‍රී ලාංකිකයින් සිටින බවට මෙතෙක් වාර්තා වී නැති බව එරට ශ්‍රී ලංකා තානාපති පී.එම් අම්සා මහතා අනාවරණය කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles