Tuesday, September 24, 2024

තෙල් සූත්‍ර විජ්ජාවට තිත

පසුගිය ආණ්ඩුව කාලයේ ක්‍රියාත්මක කළ තෙල් මිල සූත්‍රය තවදුරටත් ක්‍රියාත්මක නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

යහපාලන ආණ්ඩුව කළා මෙන් රුපියලෙන් රුපියලට තෙල් මිල වැඩි කිරීමට කිසිදු බලාපොරොත්තුවක් වත්මන් රජයට නොමැති බවත් තෙල් මිලෙහි විජ්ජාවක් නොමැති බවත් අගමැතිවරයා පැවැසුවේය.

මහජනතාවගේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන තෙල් මිල පිළිබඳ තීරණ ගන්නා බව ද අගමැතිවරයා කීය.

ජලසම්පාදන හා ජලාපවාහන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතා සුබ මොහොතින් නව ඇමැති ධුරයේ වැඩ බාර ගැනීම ඊයේ (29) බත්තරමුල්ල අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකෙරිණ. එම අවස්ථාවට සහභාගි වූ අගමැතිවරයාගෙන් ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සාමාජිකාවකට සිදු වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සී. සී. ටී. වී. වාර්තාවක් ඊයේ (29) සවස ලැබීමට නියමිතව තිබූ බවත් ඇය පැමිණිල්ලක් ඉදිරිපත් නොකළ ද පරීක්ෂණ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට පියවර ගෙන ඇති බවත් අගමැතිවරයා පැවැසුවේය.

පැමිණිල්ලක් නැතිව විභාගයක් කිරීමට අපහසු අතර, තානාපතිවරයා හමු වූ අවස්ථාවක මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට සහාය දෙන ලෙසට ඉල්ලා සිටි බවත් මෙවැනි සිදුවීමක් වුණා නම් ඒ සම්බන්ධයෙන් කනගාටු වන බවත් අගමැතිවරයා කීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තුන්වැනි පාර්ශ්වයකින් පැමිණෙන තොරතුරු පමණක් තිබෙන්නේ යැයි ද, එවැනි පසුබිමක සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට තරමක අපහසු තත්ත්වයක් පවතින්නේ යැයි ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙවැනි සිදුවීම් නැවතත් සිදුවීමට ඉඩ තැබිය නොහැකි බවත් මෙවැනි සිද්ධීන් නිසා ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපකීර්තියක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් අගමැතිවරයා පැවැසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles