දකුණු ආසියාවේ විශාලතම වෘක්කවේද රෝහල විවෘත වෙයි..

0
668

දකුණු ආසියාවේ ඉදිකළ “විශාලතම” වෘක්කවේද විශේෂිත රෝහල ලෙස සැලකෙන රෝහල පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල විවෘත කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදුකෙරුණු සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය.

චීන සහ ශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුණු රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ.

ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම් සඳහා ගතවු කාලය මාස 30කි.

වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05කින් යුත් මෙහි රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයේ. දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20කි. යන්ත්‍ර 100කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වේ.

වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here