ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 152 වැනි ජන්ම සංවත්සරය මේ වසරට යෙදී තිබේ. එතුමාගේ දර්ශනය, චින්තනය සහ එය සමාජයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි මහතා සමග සංවාදයක නිරත වීමු.
Q අනගාරික ධර්මපාල චින්තනය 21 වැනි සියවසට ගළපන්නේ කෙසේද?
අනගාරික ධර්මපාලතුමා 1864 වසරේදී උපත ලබා වයස අවුරුදු විස්ස වීමට ප්‍රථමයෙන් සිංහල බෞද්ධකම ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ පුද්ගලයෙක්. එතුමා රැගෙන ගිය ව්‍යාපාරයේ අරමුණ වර්තමානයේ කොතරම් දුරට සාර්ථක වී ඇත්දැයි විමසීමේදී එය ගැටලුකාරී අදහස් මතුකරන්නක්. එතුමාගේ චින්තනය විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ඉදිරියට ගොස් තිබෙනවා.
උදාහරණයක් ලෙස එතුමාගේ අදහසක් වුණු විදේශීය නම් ඉවත් කොට ස්වදේශීය නම් භාවිත කිරීම සාර්ථක වූවක් ලෙස පිළිගත හැකියි. ඩේවිඩ්, දොන් වැනි නාමයන් සිංහල නාමයන්ගෙන් ඉවත් වුණා. එතුමා රැගෙන ගිය අමද්‍යප ව්‍යාපාරය වැන්නක් වර්තමාන සමාජයේ අවශ්‍යතාවක්. නමුත් එය කොතරම් දුරට වත්මන් සමාජය ග්‍රහණය කරගෙන ඇත්දැයි සිතීම පවා අර්බුදයක්.
එතුමා 1884 වසරේ සිය කාර්යය අරඹන්නේ දේශප්‍රේමීත්වය අරභයා. 1880 වසරේදී ඕල්කට්තුමාගේ පැමිණීමත් සමග ලාංකිකයන් තුළ ප්‍රබෝධයක් ඇති කරන්නට ධර්මපාලතුමා රැගෙන ආ චින්තනය උපකාරී වුණා. නිදහස සඳහා එතුමාගේ මතවාද බලපෑම්කාරී වුණා. වර්තමානයට එය විප්ලවයක් නොවුණාට ඒ කාලයට එය විප්ලවයක්.
Q අධිරාජ්‍යවාදයට පහරක් ලෙස ධර්මපාලතුමාගේ චින්තනය අද සමාජයටද බලපෑම්කාරී ද?
අද සමාජය දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන් ගැත්තන් වී හමාරයි. ණය බරෙන් ජනතාව මිරිකිලා. ණය සංවර්ධනය සඳහා ආයෝජනය කරනවා යන්න නිදහසට කරුණක් නොවේ. පිටරටින් ලංකාවට බොහොමයක් දෑ ආනයනය කරනවා. සහල් පවා පිටරටින් ආනයනය කරනවා. අනගාරික ධර්මපාලතුමා නිතරම පැවසුවේ ‘සිය රට දේ සිරි සැප දේ’ යනුවෙන්. අද අපේ රටේ දේශීය නිෂ්පාදන නැති තරම්. ගඩොල්, උළු වගේ දේවලුත් නැති තරම්. අපි ප්ලාස්ටික්වලට හුරුවෙලා.
සියල්ල පිටරටින් කරනකම් අපට බලාගෙන ඉන්න වෙලා. කොතරම් වෙළෙඳ ගිවිසුම් අත්සන් තැබුවත් වෙළෙඳ ශේෂය ලංකාවට අහිතකරයි. එයට හේතුව දේශීය චින්තනයක් නොමැති වීම. අනගාරික ධර්මපාලතුමාගේ අදහස වුණේ දේශීය චින්තනය නගා සිටුවීමයි. මේ කාලය අනගාරික ධර්මපාලතුමා වැනි වීරයන් දහ දෙනෙකුවත් අවශ්‍ය කාලයක්.
Q ධර්මපාල චින්තනය අද ක්‍රියාත්මක නොවන්නේ ඇයි ?
හේතුව අප තවමත් උදාසීන චින්තනයක සිටීම. විවිධ සමාජීය බලවේග අප වෙලාගෙන ඉන්නවා. කම්කරු ශ්‍රමය පවා විදේශයන්ගෙන් ආනයනය කිරීමට වැඩි කලක් යන්නේ නෑ. රටක් එතැනට පත්වීමට පාලකයන් වගකිවයුතු වගේම පාලකයන් පත් කළ ජනතාවත් එහි කොටස්කරුවන්, වගකිවයුත්තන් වෙනවා. අපේ මිනිසුන් තවමත් උදාසීනයි. මිනිසුන් අයිතිවාසිකම් පිළිබඳ කතා කළත් යුතුකම් පිළිබඳ කතිකාවක් නෑ. ධර්මපාලතුමන් පැවසූ දෙයක් තමයි “ඉන්දියාවේ රික්ෂෝකාරයා රික්ෂෝ එකේ යන ගමන් පත්තර කියවනවා. තොපි මොනවද කරන්නේ” යන්න.
එතුමාගේ බස කර්කෂ වුණේ එකල සමාජයට ගැළපෙන්නට. අද ඉහළ සිට පහළ සමාජ ව්‍යුහයන් දක්වා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ උදාසීන මානසිකත්වයෙන්. රටේ දේශපාලනය වැඩි කලක් ගත කරන්නේ වැඩවලට නෙවෙයි, ප්‍රචාරණයට. ඒ නිසා රට තුළ චින්තන විප්ලවයක් ඇති කිරීම අවශ්‍යයි.
Q අනගාරික ධර්මපාලතුමාගේ චින්තනය රට තුළ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේ ද?
මහා පිම්මක් ඉදිරියට යාමක් ලෙස එය හැඳින්විය හැකියි. ප්‍රධාන වශයෙන් බාල පරම්පරාවෙන් ආරම්භ කළ යුතුයි. එක්වරම ඉහළ තලවලට කතා කිරීම නිෂ්ඵලයි. අධ්‍යාපන ක්‍රියාවලියෙන් මෙය ඇරඹිය යුතුයි. විදේශීය වීරවරයන් පිළිබඳ අප කතා කළ යුතුයි. නමුත් අපේ රටේ වීරයන්ගේ චින්තනයන්ද අප ක්‍රියාත්මක කළ යුතුයි. දහම් පාසල් අධ්‍යාපනයට පමණක් අනගාරික ධර්මපාල චින්තනය සීමා කිරීම නොව පාසල් අධ්‍යාපනය තුළත් එය ක්‍රියාත්මක කළ යුතුයි.
එතුමා වීරයෙක් යන්නට සීමා නොවී අප කෙසේද එතුමා කියවන්නේ යන අදහසක් ඇති කළ යුතුයි. ලෝකයේ බොහෝ රටවල් සිය අධ්‍යාපනය තුළට ඉතිහාසය ඇතුළත් කර තිබෙනවා. ලංකාවේ මෑතකදී ඉතිහාසය විෂය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළා. නමුත් එය කෙතරම් සාර්ථකදැයි අර්බුදයක්.
අනගාරික ධර්මපාලතුමා කොතරම් ධනය තිබුණත් ධනය වර්ධනය සඳහා කටයුතු කළ අයෙක් නොවෙයි. එතුමාගේ අභිප්‍රාය වුණේ ජාතික මෙහෙවරයි. අද රටේ පාලකයන්ට එතුමා නිදසුනක්.
Q අනගාරික ධර්මපාලතුමාගේ චින්තනය රටට ගෙන ඒම අභියෝගයක්ද?
මෙතනදි මතුවන අදහස තමයි එතුමා ජාතිවාදියෙක්ද යන්න. ඔව් එතුමා ජාතිවාදියෙක්. නමුත් ජාතිභේදවාදියෙක් නොවේ. අප බැහැර කළ යුතු දේ ජාතිභේදවාදයයි. අපේ ජාතිය ශ්‍රේෂ්ඨයි, උතුම්, ජාතිය පණ ගැන්විය යුතුයි, අනන්‍යතාව ආරක්ෂා කළ යුතුයි යන සියල්ල පොදුවේ සියලු ජාතීන් සතු විය යුතු අදහසක්.
ජාති භේදවාදය වැරදියි. අපේ ජාතිය පමණක් තිබිය යුතුයි, අනෙක් ජාතීන් නැති විය යුතුයි යන්න ධර්මපාලතුමාගේ චින්තනය නොවේ. එතුමා කිසිදු තැනක එවැන්නක් සඳහන් කර නෑ. එතුමා බෞද්ධ චින්තනය සියලු ජාතීන්ට පොදුවේ අදාළ වන ලෙස කටයුතු කළ පුද්ගලයෙක්. ජාතියක් පිළිබඳ කතා නොකර, ජාතික කොඩිය ගැන කතා නොකර ජාතියක් දේශයක් ආරක්ෂා වෙන්නේ නෑ. එය කෙනෙකුගේ අයිතිවාසිකම් කඩකරන්නක් ලෙස දැකීම එක්තරා නිවටකමක්. මගේ අදහස අප ජාතිවාදීන් විය යුතුයි. නමුත් ජාතිභේදවාදීන් නොවිය යුතුයි. අද බොහෝ දෙනාට මේ වචන දෙක පැටළිලා.
Q අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දිනයට අප කළ යුත්තේ කුමක් ද?
අපට ධර්මපාලතුමා මතක් වෙන්නේ සැප්තැම්බර් 17 වැනිදාට පමණයි. එසේ විය යුතු නෑ. තුන්සිය හැටපස් දවසේම එතුමා ගෙනගිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි. රටකට භෞතික සංවර්ධනය සේම ආධ්‍යාත්මික සංවර්ධනයත් වැදගත්. අපේ රටේ ලාංකිකයන්ට අනන්‍යතාවක් තියෙනවා. අපට උරුමවුණු වාරි තාක්ෂණයක් තියෙනවා. එය එක්තරා ශික්ෂණයක් මත ගොඩනැගුණු දෙයක්. එවැනි තාක්ෂණයක් ලෝකයේ තවමත් නෑ.
අනෙක් රටවලට පළමුව ඉතිහාසකරණය පිළිබඳ අදහස් දැක්වූ රටක් අපි. එවැනි ඉතිහාසයක් තිබෙන අපි අභිමානවත් විය යුතුයි. කළ යුත්තේ අපේ ආධ්‍යාත්මික චින්තනය, දර්ශනය තුළින් භෞතික සංවර්ධනයක් ළඟා කරගැනීමයි. අප අනගාරික ධර්මපාලතුමාට කරන ලොකුම සේවය වන්නේ එතුමාගේ ගුණ වර්ණනා කරනවාට වඩා එතුමා ගෙනගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමයි. එය එතුමා කළ සේවයට කෘතගුණ සැලකීමක්.
සත්සරා සුලක්ෂි රත්නායක ada