Monday, January 27, 2025

දඹරන් පිළිම ‘මේනියාවෙන්’ අයෙක් මරුට

අප ‍රටේ පැරණි වෙහෙර විහාර වල  දඹරන් බුදුපිළිම සහ වටිනා මුතු මැණික් ආදී වටිනා වස්තූන් ඇතැයි යන විශ්වාසය නිසා මේ දක්වා වැනසී ඇති මිනිස් ජීවිත ගණන සුළු පටු නැත.

එමෙන්ම මෙම මිථ්‍යාව නිසා අප ජාතියට අහිමි වූ පුරාවස්තූන් ප්‍රමාණය ද සුළු පටු නැත. දඹ රන් යනු තනි පවුම් රත්තරන් යැයි බොහෝ දෙනෙක් වරදවා සිතති. එහෙත් දඹරන් යන්න ශාස්ත්‍රීය වශයෙන් විමසන විට ලෝකඩ සේම මැටි බුද්ධ ප්‍රතිමා සඳහා ද ඒ නම යෙදෙන බව පෙනේ. මෙහිදී එම බුදු පිළිම දඹ රන් ලෙසින් හැඳින්වෙනුයේ ඒ මැටි හෝ ලෝකඩ පිළිමය ළූණු සිවියකටත් වඩා තුනී ලෙස රන් ආලේප කොට තිබීම නිසාය. මේවායේ මූල්‍යමය අගය ඉතා ‘සොච්චමකි’.

මේවා මෙසේ රන් ආලේප කිරීමට යොදා ගනු ලබනුයේ ඉන්දියාවේ ගංගානම් ගගෙන් මතුවෙන රන්සුණු බව පැවසේ. දඹරන් සංස්කෘත බසින් හැඳින්වෙනුයේ ‘ජම්බෝනාද ස්වර්ණ’ යනුවෙනි.

ඊයේ (24) රාත්‍රී 09.00 ට පමණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැරණි වන්නි හත්පත්තුවට අයත් මීගලෑව, ලස්සනගම ප්‍රදේශයේ විහාරස්ථානයකට යුද හමුදා ඇදුම් වලට සමාන ඇදුම් වලින් සැරසුණු දෙදෙනෙක් යතුරුපැදියකින් පැමිණිය හ. ඒ එම විහාරස්ථානයේ දඹරන් බුද්ධ ප්‍රතිමාවක් සහ වටිනා මැණික් ඇතැයි යන වැරදි තොරතුරකට අනුවය. සුප්‍රකට ඵෙතිහාසික රැස් වෙහෙර හෙවත් ‘‍සස්සේරුව’ රජමහා විහාරය ආසන්නයේ පිහිටිය ද මෙම ලස්සනගම විහාරස්ථානය පැරණි පුදබිමක් නොවේ.

අතීතයේ සිට වන අලින් බහුල වනගත ප්‍රදේශයක්ව පැවැති මීගලෑව ප්‍රදේශය ජනාකීර්ණ කෘෂිකාර්මික කලාපයක් වනුයේ මහවැලි ව්‍යාපාරයට පින්සිදු වන්නටය. ඒ අනුව එම විහාරස්ථානයද මෑතක දී ඉදිකරන ලද්දකි. එවන් විහාරස්ථානයක දඹරන් යැයි පැවසෙන ලෝකඩ පිළිමයක් හෝ තිබුණහොත් එහි කිසියම් විශේෂත්වයක් තිබේ. ඉතින් මුතු මැණික් ගැන කවර කතාද?

කෙසේ හෝ මේ පුද්ගලයන් දෙදෙනා පන්සල බිඳීමට පැමිණෙන බවට ඊයේ (24) රාත්‍රී මීගලෑව පොලිසියට තොරතුරක් ලැබුණි. ඒ අනුව වහා ක්‍රියාකාරී වූ පොලිස් නිලධාරීහු ඊයේ රාත්‍රී එම ප්‍රදේශය වට කළහ. ඔවුන් අපේක්ෂා කළ පරිදිම යුද හමුදා ඇදුම් වලින් සැරසුණු දෙදෙනෙක් එම විහාරස්ථානයට පැමිණ එහි ආව‍සගෙයි දොර කැඩීමට පටන් ගත්හ. එවිට වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගැනීමට සැරසෙත්ම වහා මෝටර් සයිකලය වෙත පැනගත් ඔවුන් පොලිස් නිලධාරීන්ට වෙඩි තබන්නට වූහ.

එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාර වලින් ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලැබූ අතර ඉන් එක් සැකකරුවෙක් මීගලෑව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ‍ගොස් තිබේ. සැකකරුවන් සන්තකව තිබූ ටී 56 ගිනි අවියක්, බ්‍රව්නින් වර්ගයේ පිස්තෝලයක් සහ ජීව අත්බෝම්බයක් පොලිසිය අතට පත්විය. පොලිසිය එසේ මැදිහත් නොවන්නට එම විහාරස්ථානයේ වැඩ සිටි ස්වාමින් වහන්සේලාගේ ජීවිත වලට එල්ල වීමට තිබූ කුරිරු ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නැත.

මේ සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25) පෙරවරුවේ ගල්ගමුව මහේස්ත්‍රාත්වරයා විසින් පවත්වන ලද අතර යුද හමුදා නිල ඇදුම් සහිතව තිබූ මිය ගිය පුද්ගලයා‍ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල මහ රෝහලට යැවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග ‍කළේය. ඒ අතර තුවාල ලැබූ සෙසු සැකකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

මේ අතර මෙම විහාරස්ථානය කොල්ල කෑමට එන බවට පොලිසියට තොරතුරු දුන් පුද්ගලයාට පොලිස් ත්‍යාග අරමුදලින් විශේෂ ත්‍යාගයක් පිරිනැමීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (25) තීරණය කොට තිබේ.

එහෙත් ඒ පුද්ගලයාට එම තොරතුර ලැබුණේ කෙසේද, විචාර බුද්ධියකින් තොර මෙම පුද්ගලයන් දෙදෙනාට මේ ‘මර උඟුල’ අටවන ලද්දේ කවුරුන්ද යන්න පිළිබඳව වැඩි දුර පොලිස් පරීක්ෂණ පැවැත්වෙන්නේ දැයි මම නොදනිමි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles