Sunday, September 22, 2024

දහඅට අහෝසි කිරීම හැට දෙලක්ෂයකගේ ජයග්‍රහණයක්

හනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළාටත් වඩා දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම මෙරටේ හැට දෙලක්ෂ පනස් දහසකගේ ජයග්‍රහණයක් බව පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දහඅට වැනි සංශෝධනය තුළ වූ භයානකත්වයෙන් රටේ ජනතාව මුදා ගැනීමට හැකිවූ බවත් පැවසීය.

දෙවසරක යහපාලන තුළ සිදු කළ පරිවර්ථනීය මෙම වෙනස අතිශයින්ම ප්‍රසංශනීය බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ(08) පැවැති තිරසර යුගයක තෙවසර ඇරඹුම් උළෙලට එක් වෙමිනි.

අවනීතිය වෙනුවට – යුක්ති ධර්මයද, අසීලාචාරබවට – ආචාරශීලිත්වයද, අයුක්තිය වෙනුවට – යුක්තියද, පවුල් පාලනයට – යහපාලනයද, වෛරය වෙනුවට මෛත්‍රීයද එක් කරමින් ගෙවුණු දෙවසක අභිමානය පිළිඹිබු කෙරෙන අයුරින් සංවත්සර උළෙල සංවිධානය කර තිබුණි.

තිරසර යුගයක තෙවසර ඇරඹුම නිමිත්තෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථ පහක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය. ග්‍රාම ශක්ති වෙබ් අඩවිය ජනාධිපතිවරයා විසින් අන්තර්ජාලය මුදා හැරිමද මෙහිදී සිදු විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය. 19 සම්මත කළාට වඩා 18 අහෝසි කිරීම මේ ජනතාවගේ ජයග්‍රහණයයි. ඒ තුළ තිබූ භයානක බව ඔබ දන්නවා. හැට දෙළක්ෂ පනස් දහසකගේ ප්‍රාර්ථනා ඉටු කිරිමට අප එය සම්මත කළා යැයිද අනාවරණය කළේය.

හම්බන්තොට නව කර්මාන්ත, ඇති කිරීම පිළිබඳ ජනතා විරෝධයක් තිබේ නම් එම කර්මාන්ත පොළොන්නරුවට ලබා දෙන ලෙස තමා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවද ජනාධිපතිවරයා පැවැසීය .

පැවැති රාජපක්ෂ ආණ්ඩුව වසර දෙකක් තිබියදී ආණ්ඩුව දමා පැන ගිය බවත් ආර්ථික අර්බුදයට සහ අන්තර්ජාතික විරෝධයට එරෙහිව මුහුණ දීමට නොහැකිව ඔවුන් එසේ පැනගිය බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රටේ මාධ්‍යවේදීන් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය භූක්ති විදින බවත් එය මහෝගයක් බවත් කී ජනාධිපතිවරයා තම ආණ්ඩුව මාධ්‍යට එරෙහිව තුවක්කු භාවිතා කර නැතැයිද මාධ්‍ය වේදීන් ඝාතනය කර හෝ ඔවුන්ගේ ලේ සොලවා නැති බවත් පැවසීය.

හැට පස් වසරක් ගහමරා ගත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක් වී සහෝදරත්වයෙන් රට ගොඩනැගීමේ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේ අසීරු ඉලක්කයක් යන බවත් ඊට අකුල් හෙළීම බරපතළ වරදක් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ආණ්ඩු බලය නැති පිරිස් පසුගිය දශක කිහිපයේ නැති හඬක් නඟන බවද සිවු වසරකට එහා තිබෙන මැතිවරණ ගැන ඔවුන් කතා කරන බවද අනාගත ආණ්ඩුවක් පිළිබඳ පුහු ඝෝෂා පුහු දෝෂාරෝපණය කරන්නේ ජාති දෝහීන් බවද ජනාධිපතිවරයා පැවසීය.

තමා සමඟින් එක්වී අලුත් ආණ්ඩු හඳන්න අවශ්‍ය නැතැයි කී ජනාධිපතිවරයා රට ගොඩනඟන්න එක් වන්න එන්නැයි තමා සියලු දෙනාට ආරාධනා කරන බව අවධාරණය කළේය.

මහා සංඝරත්නය, සෙසු ආගමික නායකයන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,කතානායක කරු ජයසූරිය, ඉන්දියානු ආන්ද්‍රා ප්‍රධාන ඇමැති නාරා දන්දාබාබු නයිදු, මැති ඇමැතිවරන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles