Sunday, September 22, 2024

දැනුවත් කිරීමේ පුවරු සවිකිරීමට අවසර ගන්න ඕනෑ

වනජීවීන් මාරුවන ප්‍රදේශ බව හෝ ගැවසෙන බව මාර්ගවල ගමන්කරන රථවාහන රියදුරන් දැනුවත් කිරීම සඳහා පුවරු සවිකිරීමට පෙර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවෙන්  හා අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලින් අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය  බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සු‍මේධා ජී. ජයසේන මහත්මිය අවධාරණය කරයි.
වනජීවින් ගැවසෙන බව හෝ මාරුවෙන ප්‍රදේශ පිළිබඳව රථවාහන රියදුරන් දැනුවත් කිරීමට ඇතැම් පෞද්ගලික ආයතන ඉදිරිපත්වීම යහපත් බවත් එවැනි දැන්වීම් පුවරු සවිකිරීමට පෙර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසුව රථවාහන රියදුරන් දැනුවත් කළයුතු නිවැරදිම ස්ථාන තෝරාගත හැකි වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
එවැනි නිවැරදි ප්‍රදේශ හඳුනා නොගතහොත් සද්භාවයෙන් එම දැන්වීම් පුවරු සවිකළද ඉන් ප්‍රයෝජනයක් අත්නොවෙනවා මෙන්ම අනවශ්‍ය  ගැටළුද ඇතිවිය හැකි බවත් එම නිසා එවැනි පුවරු සවිකිරීමට පෙර වනජීවී සංරක්ෂණ  දෙපාර්තමේන්තුව හා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත්කර එම ආයතනවලින් අවසර ලබාගැනීම අනිවාර්ය බවත් සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ වැල්ලවාය, හම්බෙගමුව ජනපදයේ ප්‍රජා ශාලාවේදී පසුගියදා පැවති රැස්වීමකට සහභාගී වෙමිණි.
තණමල්විල, වේලිඔය මාර්ගයේ ගැසට් කර තිබෙන අලිමංකඩවල් තිබෙන අතර තේක්ක කැළේ ප්‍රදේශයේ ගැසට් නොකරන ලද ප්‍රදේශයකට අලිමංකඩක් යනුවෙන් සවිකර තිබෙන පුවරුව ඉවත්කරන ලෙසට නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී උපදෙස් ලබාදුන්නාය. අලිමංකඩක් යනුවෙන් සඳහන් පුවරුව ඉවත්කරන ලෙස දැනුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ වන අලින් ගැවසෙන ප්‍රදේශයක් වශයෙන් සඳහන්කර තිබෙන පුවරුව පමණක්තේක්ක කැළය ප්‍රදේශයෙන් ඉවත් නොකරන ලෙසය.
තණමල්විල වේලිඔය මාර්ගයේ දහයියාගල, වැටහිරකන්ද ප්‍රදේශවල පිහිටි අලිමංකඩවල් ගැසට් කර තිබෙන අතර තේක්ක කැළේ ප්‍රදේශයේ අලිමංකඩක් යනුවෙන් නම්කර තිබෙන පුවරුව ඉවත් කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී උපදෙස් ලබාදුන්නේ තේක්ක කැළේ ප්‍රදේශය අලිමංකඩක් නොවන නිසාය.
මීට අමතරව හම්බෙගමුව ප්‍රදේශයේ දැනට ඉදිකරමින් පවතින ආරක්ෂිත විදුලිවැටවල් සහ ළඟදීම ඉදිකිරීමට නියමිත ආරක්ෂිත විදුලිවැටවල් සම්බන්ධයෙන් පවතින ගැටළු ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය එම ගැටළු සියල්ල විසඳීමටද පියවර ගත්තාය.
ඌව පළාත් සභාවේ නියෝජ්‍ය  සභාපති විමල් ගලගමආරච්චි මහතා, තණමල්විල ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී දිමුතු රංගන මහතා ඇතුළු දේශපාලන නියෝජිතයෝ පිරිසක්ද, උඩවලව ජාතික උද්‍යානයේ භාරකාර ටී. කේ. එච්. පතිරණ මහතා ඇතුළු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද , තණමල්විල ප්‍රාදේශීය ලේකම් පියල් නිශාන්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු , පොලිස් නිලධාරීහු, කහකුරුල්ලන්පැලැස්ස, හම්බෙගමුව ධීවර ගම්මානය, හම්බෙගමුව ජනපදය, අරඹෙකෙම, මයිලවල, රතඹලාගම ඇතුළු ගම්මාන රැසක 500කට ආසන්න ගම්වාසීහු ද මෙම රැස්වීමට සහභාගීවුහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles