Friday, January 10, 2025

දුරකථන සමාගම් පොහොසත් කළ “මොබයිල් ඉන්ෂුවරන්ස්” වංචාව

වසර ගණනාවක සිට විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් සිය වේදිකාව තුළ “ජංගම දුරකථන රක්ෂණ” විකිණීම රක්ෂණ පනත උල්ලංඝනය කරමින් සිදුකරන ලද්දක් බව මේවන විට තහවුරුව තිබේ.

මේ තොරතුරු හෙළිව ඇත්තේ රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුවය.

කෙසේවුවද, මේ තත්ත්වය හෙළිවීමත් සමඟ 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ අංක 96A මගින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට ඇති බලතල අනුව විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන්ගේ වේදිකා (මොබයිල් ඉන්ෂුවරන්ස්) භාවිතය අත්හිටුවීමට මේවන විට නිර්දේශ නිකුත් කර තිබේ.

ඩයලොග් ආසියාටා, ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් (ශ්‍රී ලංකා) වැනි විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් විසින් “ජංගම දුරකථන රක්ෂණ” ඔවුන්ගේ පාරිභෝගිකයන්ට අලෙවි කර තිබේ.

මොබයිල් ඉන්ෂුවරන්ස් විකිණීම හරහා 2013 වසරේ සිට වැඩිම ලාභ උපයා ඇත්තේ මැලේසියානු සමාගමක් වන ඩයලොග් ආසියාටා සමාගමයි.

ඩයලොග් සමාගම මෙම රක්ෂණ සිය වේදිකාවන් හරහා ජනතාවට අලෙවි කිරීමට සොෆ්ට්ලොජික් ඉන්ෂුවරන්ස්, ෆෙයා ෆස්ට් හා සෙලින්කෝ යන රක්ෂණ සමාගම් දායක කරගෙන තිබේ.

විශාලතම ජංගම දුරකථන සමාගමක් වන මේ මැලේසියානු සමාගම මෙරට ලක්ෂ 24ක් වන සිය සාමාජිකයන්ට අදාළ රක්ෂණ අලෙවි කර ඇති බවට තොරතුරු හෙළිව තිබේ.

ඔවුන් එමගින් මසකට රුපියල් ලක්ෂ 100ක් ඉක්මවූ ආදායමක් වසර ගණනක් පුරා උපයාගෙන ඇති බවද පැවසේ.

“ජංගම දුරකථන රක්ෂණ” විකිණීමේදී ඔවුන් විසින් සිතා මතා වැඩි ලාභ ලැබිය හැකි කේෂත්‍ර සඳහා පමණක් රක්ෂණ ලබාදී තිබීම ද කැපී පෙනෙන කාරණාවකි.

“ජංගම දුරකථන රක්ෂණ” හරහා ඔවුන් ආවරණය කර ඇත්තේ පුද්ගලික අනතුරු ආවරණ (මූලික ආවරණ), රෝහල් ගත කිරීමේ ආධාරක සැලැසුම් ආවරණ (ඩෙංගු ආවරණයක් ඇතුළත්ව) හා ජීවිත ආවරණ (මූලික ආවරණ) පමණි.

ඔවුන් මේ හරහා වැඩිම ප්‍රතිලාභ ගෙවීමට සිදුවන මෝටර් රථ ආවරණ කෙරෙහි නැඹුරු නොවී වසර ගණනාවක්ම “ජංගම දුරකථන රක්ෂණ” විකිණීම ඒ සඳහා කදිම උදාහණයක් බව කේෂත්‍ර ප්‍රවීණයෝ කියා සිටිති.

මේ නිර්දේශ ලැබීමත් සමඟ අනීතික ලෙස මුදල් උපයන ලද දුරකථන සමාගම් හා රක්ෂණ ආයතන වලින් විශාල ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට මෙය නැවත හරවන ලෙසට බලපෑම් එල්ලවෙමින් ඇතැයි වාර්තා වේ.

Sri Lanka Mirror

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles