Monday, September 23, 2024

දෙවන ලෝක යුද්ධයෙන් පසුව පලමු වරට ශ‍්‍රී ලංකාවට සාගතයක් – පාඨලී අනතුරැ අඟවයි

පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් තබා තම ආණ්ඩුවේ තත්ත්වය මැන ගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

මාධ්‍ය හමුවකට එක්වූ රණවක මහතා සඳහන් කළේ දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසු ඉතිහාසයේ පළමු වතාවට රට සාගතයක් කරා යොමුවෙමින් පවතින බවය.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අහස උසට නගිමින් තිබේ. ඊට හේතුවී ඇත්තේ පවතින එළවළු සහ පළතුරු හිඟයයි. මහ කන්නය පිළිබඳ ඇතිව තිබෙන දෙගිඩියාව හේතුවෙන් සහල් මිල ගණන් අහස උසට නගිමින් තිබේ. දෙසැම්බර් මාසය වනවිට පවතින ප්‍රමාණයටත් වඩා විශාල පරිමාණයෙන් වැඩි වීමට නියමිතය.  බඩඉරිඟු වගාව වැනි ඒ හා බැඳී තිබෙන කුකුල් මස් සහ බිත්තර සැපයීම අඩාල වීම නිසා කුකුල් මස්, බිත්තර වැනි දෑ ඉතා ඉහළ මිල ගණන් වලට ගමන් කරමින් තිබේ. රටේම ජනතාව දරාගත නොහැකි සාගත තත්ත්වයකට ගමන් කරමින් සිටී.

“අනෙක් පැත්තෙන් මේ රටට ඩොලර් මිලියන එක්දාස් තුන්සීයක් පමණ උපයා දීපු තේ, පොල්, රබර්, කුරුඳු වැනි අපේ අපනයන බෝග වලට බරපතළ අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ තේ වෙළඳාම නාමය හා නාමය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා අපේ තරඟකරුවන්ට ඒ ස්ථානය හිමිවෙන්න යනවා. මොකක්ද මේකට හේතුව? මේකට හේතුව පසුගිය මාර්තු මාසයේ ජනාධිපතිවරයා ගත්ත තීරණයත් අනුව පසුගිය මැයි මාසේ හය වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් ශ්‍රී ලංකාවට පොහොර ගෙන්වීම රසායන ද්‍රව්‍ය ගෙන්වීම හා බීජ ගෙන්වීම තහනම් කිරීම නිසා ඇතිවෙච්ච තත්ත්වයක්.”

කාබනික ගොවිතැන හොඳ දෙයක් නමුත් ඊට අවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් සාමාන්‍ය ජනතාවට ඔරොත්තු නොදෙන බව තමන් විසින් පෙන්වා දුන් බවත්, විද්‍යාඥයන්, කෘෂි විද්‍යාඥයන්, ගොවියන්, ගොවි සංවිධාන මෙන්ම මේ පිළිබඳව සාමාන්‍ය දැනුමක් සහිත බොහෝ දෙනෙක් කරුණු කියා ඇති බවත් රණවක මහතා ප්‍රකාශ කලේය.

“ 100% ක් කාබනික ගොවිතැන කරපු රටක් ලෝකේ නැති බව අපි බොහොම පැහැදිලිව කිව්වා. ඒ වගේම සිලෝන් ටී නාමය බිඳ වැටුනොත් සිලෝන් සිනමන් නාමය බිඳ වැටුනොත් අපේ අපනයන ආදායම් සියවස් ගානක් තිස්සේ මේ රටට ලැබිච්ච අපට නැති වෙන බව අපි බොහොම පැහැදිලිව කිව්වා.”

නමුත් ජනාධිපතිවරයාගේ උද්දච්ච මානසිකත්වය සහ ඔහු වටා සිටින උපදේශකයන්ගේ කෘෂිකර්ම ඇමැති හා කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ඇතුළු සියලු දෙනාගේම තියෙන මුග්ධභාවය විසින් මේ ගොවියන්ට දේශපාලන පසුබිමක් තියෙනවා කියමින් ලේබල් අලවමින් සිටියා මිස මේ ගැටලුව විසඳීමට කිසිදු උත්සාහයක් ගත්තේ නැත.

“අර ඉඳුරුවේ ආචාරියා වගේ එකක් කඩතොලු මකාගන්නට ගිහින් දෙකක් කඩතොළු ඇති කරගත්තා වගේ දැන් මේ කාබනික පොහොර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණාට පස්සේ බාල පොහොර හදන්න ගිහිල්ලා අනුරාධපුර පැත්තේ සම්පූර්ණයෙන්ම මහජනයාට එළිදරව් වුණාට පස්සේ මිලියන සිය ගානක් ඒ වෙනුවෙන් කාබාසිනියා කළාට පස්සේ විදේශ රටවලින් කාබනික පොහොර ගේන්න කටයුතු කළා.”

චීනයෙන් කාබනික පොහොර කියමින් භයානක බැක්ටීරියාවන් තියෙන පොහොර තොගයක් ලංකාවට ගෙනා බව ඒ රසායනාගාර පරීක්ෂණ වල නියැලි විද්‍යාඥයන් විසින් පැහැදිලි කරලා තිබේ. නමුත් අද මෙය බාරගන්නැයි රාජ්‍යතාන්ත්‍රික බලපෑමක් චීනයෙන් එල්ල වී තිබේ.

“මේ තොගය ලංකාවට ගෙන එන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන නිලධාරියෙකුගේ ඥාතිවරයෙක් කියන එක දැන් එළිදරව් වෙලා තියෙනවා. ඒක නැහැයි කියලා නෑ කවුරුවත්. එතකොට මේ පිටිපස්සේ තියෙන්නේ අර ජරා කොමිස් ගැහිල්ල. ජරා පොහොර වලින්. අපේ මව්බිම, අපේ සරුබිම විනාශ කරන මේ තුච්ඡ වැඩ පිළිවෙලට එරෙහිව ගොවියෝ එක්ක, කෘෂි විද්‍යාඥයෝ එක්ක අපි නැගී සිටිනවා විතරක් නෙවෙයි මේ අපරාධයට සම්බන්ධ සියලුම දේශපාලනඥයින්ට සහ මේ කෘෂි උපදේශකයින්ට අර ප්‍රසිද්ධ දොස්තර මහත්තයත් ඇතුළු සියලු දෙනාට අනාගතයේදී මේ ගැන වගකියන්න වෙයි කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා.”

ඉන්දියාවෙන් ගෙන්වීමට සූදානම් වන නැනෝ නයිට්‍රජන් පිළිබඳව අදහස් දැක්වූ රණවක මහතා;

“මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නෑ මේ රටේ නයිට්‍රජන් අවශ්‍යතාවයට. පළවෙනි කාරණය. අපේ කෘෂි විද්‍යාඥයෙක්, කඹුරුපිටියේ කෘෂි  පීඨයේ මහාචාර්ය අරුණ කුමාර පෙන්නලා දීලා තියෙනවා හෙක්ටයාරයකට මේ නැනෝ නයිට්‍රජන් ලීටර් 1250ක් වත් ඕන කියලා. මේ ලීටරයක් දෙකක් ගහලා මේක කරන්න බෑ කියලා. ඒ අනුව කිසිසේත්ම මේක ප්‍රමාණවත් නෑ.”

  • නැනෝ නයිට්‍රජන් දියරයේ අඩංගු නයිට්‍රජන් නිශ්චිතවම රසායනික නයිට්‍රජන් යූරියා වල තියෙන ඒවා.
  • මේ සඳහා භාවිතා කරන නැනෝ කෙඳිවල තත්ත්වය පිළිබඳව කිසිදු පර්යේෂණයක් ලංකාවේ සිදු කරලා නෑ. ඒ අනුව මෙයින් අනාගතයේ සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳ කාටවත් වගකියන්න බෑ.
  • තුන, මේ දියර නයිට්‍රජන් ඇතුල් වෙන්නේ පත්‍ර හරහා. කුඹුරේ තියෙන්නේ ගොයම් විතරක් නෙවෙයි. දැන් වල් නාශක නැති හින්දා වල් පත්‍රත් තියෙනවා.

එතකොට අර කවුද මෝඩ මන්ත්‍රී කෙනෙක් කිව්වා වගේ, බෝම්බයක් ගැහුවා වගේ,  වල් ටිකත් වැඩෙන්න ඉඩ තියෙනවා. ඒකට වැඩපිළිවෙලක් ආණ්ඩුවට නෑ. ඒක නිසා මේ රටේ ජාතික ධනය කොල්ලකන එක නතර කරන්න කියලා වහාම ජනාධිපතිවරයාට අපි කියනවා. “

දැන් ඖෂධ, පොහොර, ආහාර, සුදුළූණු, සීනි, පොල්තෙල් සෑම දෙයකින්ම හොරකම් කරන තක්කඩි පාලනයක් මේ ආණ්ඩුව විසින් සෞභාග්‍යයේ මග නමින් ඇති කර තිබෙන බව ද රණවක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“කවුරුත් ගොවියෝ දන්නවා. වගා කරන්න ගිහාම මුලින්ම අපි මඩ පෝර ගහනවා. වී වගා කරනකොට. ඊළඟට යූරියා එකතු කරනවා පැලපතට. ඊළඟට කරල් පීදීගෙන එනකොට ඒ කරල් පීදීමට අවශ්‍ය කරන ඒ මිශ්‍ර පොහොර අපි ගහනවා. ඒකට කියන්නේ බන්ඩි පොහොර කියලා. දැන් මොකක්ද කරලා තියෙන්නේ? බන්ඩි පොහොර කලින් ගෙනල්ලා.  මඩ පොහොර නෑ. මේ අයනු ආයනුවත් දන්නැතුව මේ මුග්ධ ක්‍රියාවලියේ නියැලිලා ඉන්න මේ පාලකයින්ට අපි කියනවා ජනතාවගේ සාගතයට වග කියන්න ලෑස්ති වෙන්න.”

තමන් මහා ප්‍රතිපත්තිගරුක කෙනෙක් නිසා මතු පරම්පරාව වෙනුවෙන් කිරීමට යන බව පවසමින් මතු පරම්පරාව සාගතයකින් මරා දමන්නට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සැරසේ. ඒ වගකීමෙන් මිදීමට ජනාධිපති අගමැති කෘෂිකර්ම ඇමැතිවරුන් ඇතුළු කැබිනට් මණ්ඩලයට කිසිදු ඉඩක් නැත.

“එක පැත්තකින් ජනතාවගේ ආදායම් කඩා වැටිලා. අනිත් පැත්තෙන් ආහාර හිඟය නිසා ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ ගිහිල්ලා. අතිශය මුග්ධ ක්‍රියාවලියක් මේ වසංගතයක් අස්සේ ආහාර සුරක්ෂිතතාවය පාවාදීමට ගත්ත ක්‍රියාමාර්ගය. ඒ වගේම දැන් ආයේ පටන් අරන් තියෙනවා මේ වකුගඩු කතාව. වකුගඩු වෙනස් වෙනවා වලට හානි සිද්ධ වෙනවයි කියලා ඇතැම් දොස්තරලා ඇවිල්ලා ප්‍රකාශ කරනවා. තමන් නොදන්න විෂයන් ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා. බොහොම පැහැදිලිව අපි කියන්න ඕනේ වකුගඩු රෝග සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විධිමත් අධ්‍යයනයක් කළා. ඒ අධ්‍යයනයේ ප්‍රතිඵල 2013 දි නිකුත් වුණා. එය ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. එක හේතුවක් නෙවෙයි හේතු ගණනාවක් නිසයි රජරට රෝග ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ කියලා.”

ප්‍රමිතියෙන් තොර බාල පොහොර ගෙන ඒම වකුගඩු රෝගයට හේතු විනැයි කියන්නේ නම් ඊට වග කිව යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා බව ද හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

“මොකද මේ ලෙඩ අනූ ගණන් වල ඉඳන් බොහොම සුළු පරිමාණයෙන් තිබුනට, මේ ලෙඩේ මහා පරිමාණයෙන් මතු වුණේ 2011 ඉඳන්. ඒ නිසා මේ නිකන් තමන් නොදන්න විෂයන් කතා කරන දොස්තරලා මේ රටේ කෘෂිකර්මයේ මේ රටේ අනුශාංගික වෙච්ච පස ගැන කතා පවත්වන්න ගිහිල්ලා මේ රට මුලාවේ දාලා තියෙනවා. ඒ සියලු දෙනාම මේ උපදේශකයොත් එක්ක සියලු දෙනාම මේ සාගතයට වගකියන්න ඕන”

එමෙන්ම ජරා පොහොර ගෙන්වමින් රටේ සරුපස විනාශ කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාදාමයට එරෙහිව තමන් ගොවි ජනතාව සහ කෘෂි විශේෂඥයන් ප්‍රමුඛ මහජනතාව සමග නැගී සිට සටන් කරන බව ද හෙතෙම පවසයි.

“ඒ වගේම මම පුළුවන්නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවේ රහසිගත ඡන්දයක් තියන්න. තියලා බලන්න තමන්ගේ ආණ්ඩු පක්ෂයේ තත්වේ. ඒ ඡන්දය අර විශේෂ ඡන්දයක් හැටියට කතානායක තෝරන ඡන්දයක් හැටියට, ඡන්දෙ දුන්නේ කවුදැයි කියලා හොයාගන්න බැරි විදිහට තියන්න. මහජන මතයට කන් දෙන්න. ඇත්තට මූණ දෙන්න. තමන්ගේ දරුවෝ ඉන්නේ ඇමරිකාවේ වෙන්න පුළුවන්. ඒ අය හොඳින් කාලා බීලා ඉන්නවා වෙන්න පුළුවන්. අපේ දරුවන්ගේ බඩගින්න වෙනුවෙන්, අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, අපේ දරුවන්ගේ හීන වෙනුවෙන් අපි නැගී සිටිනවා කියන එක බොහෝම පැහැදිලිව අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles