Saturday, November 16, 2024

දේශපාලන ඉතිහාසයේ නිර්ලජ්ජිත මෙහෙයුම – OPERATION G.S.C.F

ඔපරේෂන් ෆොනී

එදා සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් හැටි

ශ්‍රී ලංකාවෙන් බිහි වූ එකම ෆීල්ඞ් මාර්ෂල්වරයා වන ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකාට මින් එකොළොස් වසරකට ඉහත එනම් 2010 පෙබරවාරිය යහපත් සමයක් නොවීය. 2010 පෙබරවාරි 8 වැනි දින රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු නායකත්වය ලබාදුන් යුද හමුදාවේම නිලධාරින් පිරිසක් විසිනි. එම අඳුරු රාත්‍රියේ අම්බලන්ගොඩ සිංහයා අත්අඩංගුවට ගැනුණේ බලහත්කාරයෙනි.සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජනමාධ්‍යය වාර්තා කළ ද, ඔහු අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳව වාර්තා වූයේ මඳ වශයෙනි.

පොදු අපේක්ෂක ලෙසින් 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව, පාලක පක්ෂයට අභියෝග කිරීමට තරම් නිර්භීත වූ සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව කුරිරු ලෙසින් උපයෝගී කරගැනීමක් බැව් ඔහු අත්අඩංගුවට ගත් ආකාරයෙන් සනාථ වේ. එවක මෙරට පැවැතියේ ඉක්මනින් වෙනස්වන තත්ත්වයකි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය හා රජයේ හමුදා අතර අවසන් ගැටුම නන්දිකඩාල් කළපුවේ පැවැති අතර, යුද ජයග්‍රහණයේ කීර්තිය, දේශපාලන නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, පරිපාලන නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හමුදාවට නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් හමුදාපති සරත් ෆොන්සේකා අතර බෙදී ගොස් තිබිණි.එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමෙන් සය මසක් ගතවීමටත් පෙර මේ තිදෙනා අතර වූ සබඳතාව බිඳවැටෙන්නට විය. 2010 කාලයේ සරත් ෆොන්සේකා තරු හතරේ විශ්‍රාමික ජනරාල්වරයකු වූයේය. ඔහු විසින් ජනාධිපතිවරණයට තරග කරනු ලැබුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් හංසයා ලකුණිනි. මහින්ද රාජපක්ෂ විරෝධි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ. දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන පක්ෂවල සහය ඇතිව ඔහු පොදු අපේක්ෂයකු වශයෙන් මැතිවරණයට ඉදිරිපත් විය. එය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එංගලන්තයේ බර්නාඞ් මොන්ට්ගොමරි, වින්ස්ටන් චර්චිල්ට එරෙහිව හා බංග්ලාදේශ යුද්ධයෙන් පසු සෑම් මනෙක්ෂෝ ඉන්දිරා ගාන්ධි මැතිනියට එරෙහිව තරග කළ ආකාරයට සමානය.

ජනාධිපතිවරණය දූෂිත, රාජ්‍ය දේපොළ අවභාවිත කළ, ප්‍රචණ්ඩත්වය රජකළ මැතිවරණයක් බවට චෝදනා කෙරිණි. මැතිවරණය පැවැත්වූයේ 2010 ජනවාරි 26 වැනිදාය. මහින්ද රාජපක්ෂ ඡන්ද 60,15,934කින් නැතිනම් 57.88% ලබා පළමු ස්ථානයට පත්වී තිබිණි. ෆොන්සේකා ඡන්ද 41,73,185 නැතිනම් 40.15% ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පත්විය. මැතිවරණ ප්‍රතිඵලය දැඩි ලෙස විවාදයට බඳුන් වූ අතර එය ඡන්ද වංචාවක් බවට විරුද්ධ පක්ෂය චෝදනා කළේය. කුමන චෝදනාවක් එල්ල වුවද මහින්ද රාජපක්ෂ දෙවැනි වතාවට ද විධායක බලතල සහිත ජනාධිපතිවරයා බවට පත්විය. රජයේ ඊළඟ අවශ්‍යතාව වූයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමය.

විරුද්ධ පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා ඒ වන විට ජාතික දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියේය. අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහු විරුද්ධ පාක්ෂිකයන්ගේ ප්‍රධානතම තුරුම්පුව වනු ඇතැයි බොහෝ අය සිතූහ. 2010 පෙබරවාරි 8 වැනිදා නම් වූ ඒ අවාසනාවන්ත රාත්‍රියේ පරාජිත අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා සිටියේ කොළඹ 07 රාජකීය මාවතේ රාජකීය විද්‍යාලය අසල අංක 1/3 දරන ස්ථානයේ පිහිටි තම පක්ෂ කාර්යාලයේය. එහි තම දේශපාලනික සගයන් සමඟ පැවැති සාකච්ඡාවේ නිමිත්ත වූයේ ඉදිරියේ පැවැත්වීම නියමිත පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා කළ යුතු ප්‍රචාරක ව්‍යාපාරය සහ ගත යුතු දේශපාලනික උපායමාර්ග පිළිබඳ සොයා බැලීමය. එයට මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණු නායක මනෝ ගනේෂන්, ජනතා විමුක්ති පෙරමුණු නායක සෝමවංශ අමරසිංහ සහ සුනිල් හඳුන්නෙත්ති, හිටපු හමුදා මේජර්වරයකු වූ ෆොන්සේකාගේ මාධ්‍ය ලේකම් එස්.එච්.ඒ. සිල්වා (සේනක සිල්වා) යන පිරිස එම රහසිගත සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

මහල් දෙකකින් යුතු ගොඩනැගිල්ලක ඉහළ මහලේ සාකච්ඡාව එලෙස පැවැත්වෙද්දී කලකට ඉහත ෆොන්සේකා යටතේ සේවය කළ යුද සෙබළු පිරිසක් වෙනත් ස්ථානයක තම හිටපු නායකයා ඉලක්ක කර ගනිමින් කිසියම් මෙහෙයුමකට සූදානම් වෙමින් සිටියහ. මෙහෙයුමේ කේත නාමය වූයේ ‘ඔපරේෂන් ෆොනී’ යන්නයි. ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සැලසුම් කරනු ලද්දේ එවක යුද හමුදා පොලිසියේ ප්‍රධාන මාෂල්වරයා වූ බි්‍රගේඩියර් ජගත් විජේසිරි සහ කොළඹ මෙහෙයුම් අණදෙන නිලධාරි මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ යන දෙදෙනා විසිනි. මෙම රහසිගත මෙහෙයුම සඳහා ආරක්ෂක අංශයේ ඉහළම ස්ථරයේ අවසරය හිමිවී තිබිණි.

පෙබරවාරි 8 වැනි දින රාත්‍රි 9ට පමණ මෙහෙයුම ආරම්භ වූ අතර එය පොල්හේන්ගොඩ හමුදා පොලිස් මූලස්ථානයේ සිට ක්‍රියාත්මක වූයේය. හමුදා පොලිසියේ සහ කොළඹ මෙහෙයුම් අංශයේ නිලධාරීහු 200ක පමණ පිරිසක් මෙහෙයුමට දායක වී සිටියහ. පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ පිරිසක් ද මෙහෙයුමට එක්කර ගැනිණි. පිරිස බස්රථ දෙකකින් හා තවත් වාහන අටකින් මුනිදාස කුමාරතුංග මාවත, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත හා රාජකීය මාවත ඔස්සේ ගමන් ගත්හ. යුද මෙහෙයුමකට සරිලන ඇඳුමින් සැරසී සිටි ඔවුහු මොහොතකින් එම ප්‍රදේශය තහනම් කලාපයක් බවට පත් කළහ. වාහන ගමනාගමනයට බාධා පැමිණුනු අතර බෞද්ධාලෝක මාවත, හැව්ලොක් මංසන්ධිය සහ රාජකීය මාවතේ භට පිරිස් රඳවනු ලැබූහ. ෆොන්සේකා රැඳී සිටි ගොඩනැගිල්ල වටා ආරක්ෂක වළල්ලක් ස්ථාපිත කළ ඔවුහු රාත්‍රි 9.40ට පමණ ෆොන්සේකා සිටි ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණියහ. කමාන්ඩෝ ගණයේ වැටලීමක් සූදානම් කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැමිණ සිටි ආරක්ෂකයෝ රැඳී සිටියේ පහළ මාලයේය. ගොඩනැගිල්ලට ඇතුළු වූ කණ්ඩායම ආරක්ෂකයන් අත තිබූ අවි බලහත්කාරයෙන් උදුරා ගත්හ. හදිසි කඩාවැදීමෙන් බියපත් වූ ආරක්ෂකයන්ගෙන් කීප දෙනෙක් ඉහළ මාලයට දිව යෑමට උත්සහ කළද ඔවුන්ගේ හිසට තුවක්කු එල්ලකොට නැවත පහත මාලයට පැමිණෙන ලෙසට අණ කෙරිණි. සියලු දෙනා ශාලාවේ කොනක රඳවනු ලැබූහ. ආරක්ෂක කැමරා සියල්ල ක්‍රියා විරහිත කළ අතර පටිගත කිරීමේ යන්ත්‍ර ගලවා ඉවත් කර ගත්හ.


ක්ෂණයකින් ඉහළ මාලයට දිව ගිය බි්‍රගේඩියර් විජේසිරි සහ මේජර් ජනරාල් මානවඩුගේ විසින් මෙහෙයවන ලද විශේෂ භට කණ්ඩායම එක්වරම ෆොන්සේකා සිටි කාමරයට කඩා වැදුණාහ. සාකච්ඡාවට සහභාගී වී සිටි පිරිසට තමා කවුරුන්ද යන්න හඳුන්වා දුන් බි්‍රගේඩියර් විජේසිරි, ජනරාල් සරත් ෆොන්සේකාගෙන් සහ සේනක සිල්වාගෙන් ප්‍රශ්න කිරීමට ඇතැයි පවසා දේශපාලන පක්ෂ නායකයන්හට එම ස්ථානයෙන් බැහැර වන ලෙසට උපදෙස් දුන්නේය. මෙම කඩා වැදීමට විරෝධය පෑ දේශපාලන නායකයෝ තමනට ජනරාල් ෆොන්සේකා අතහැර යා නොහැකි යැයි කාරුණිකව පැවසූහ. තමාගෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්නේ නම් ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි ජනරාල් ෆොන්සේකා තමා අත්අඩංගුවට ගැනීමට පැමිණි පිරිසට කියා සිටියේය. තවදුරටත් හමුදා නිලධාරියකු නොවන හෙයින් හමුදාවට තමා අත්අඩංගුවට ගැනීමට බලයක් නොමැති බවත්, අත්අඩංගුවට ගන්නේ නම් ඒ සඳහා පැමිණිය යුත්තේ පොලිසිය බවත් ඔහු තවදුරටක් පැවසීය. ජනරාල් ෆොන්සේකාගේ මාධ්‍ය ලේකම් සේනක ද සිල්වා ද ජනරාල්වරයාගේ මතය තහවුරු කරමින් විශ්‍රාමික මේජර්වරයකු වන තමා අත්අඩංගුවට ගැනීමට ද හමුදාවට බලයක් නොමැති යැයි අවධාරණය කළේය. මේ අවස්ථාවේ පක්ෂ නායකයන් ද තම අදහස් ප්‍රකාශ කළ අතර මෙය ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වන හෙයින් බාධා නොකර නිශ්ශබ්දව සිටින ලෙසට හමුදා නිලධාරියා ඔවුනට පැවසීය.

ජනරාල් සරත් ෆොන්සේකා ඇමතූ බ්‍රිගේඩියර් විජේසිරි හමුදා සේවයේ නිරත වූ සමයේ සිදු කරන ලද ඇතැම් වැරදි සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට තමාට සිදුවන බැව් පවසා සිටියේය. එම වැරදි හමුදාවට සම්බන්ධ වැරදි වන හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමට හමුදා පොලිසියට හැකි බැව් අවධාරණය කළ බි්‍රගේඩියර් විජේසිරි, ජනරාල් ෆොන්සේකාට එරෙහි චෝදනා එකින් එක කියවන්නට විය. හමුදා සේවයේ නිරතවන අතර දේශපාලනයේ නිරතවීම, සේවයේ යෙදී සිටින සමයේ සේනාධිනායකයාට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, පලාගිය සොල්දාදුවන් 1500කට අධික පිරිසකට රැකවරණ ලබා දීම සහ හමුදා ප්‍රතිසම්පාදන සම්බන්ධයෙන් සිදු වී ඇති දූෂණ එම චෝදනා අතර විය.හමුදා සේවයෙන් විශ්‍රාම ලද සිවිල් පුරවැසියකු හෙයින් යුද හමුදා පොලිසියට තමන් අත්අඩංගුවට ගැනීමට කිසිදු බලයක් නොමැති බැව් දැඩිව ප්‍රකාශ කළ ජනරාල්වරයා අත්අඩංගුවට ගන්නේ නම් ඒ සඳහා පොලිසිය කැඳවිය යුතු යැයි නැවත අවධාරණය කළේය. එක්වරම තවත් හමුදා භට කණ්ඩායමක් කාමරය තුළට කඩා වැදුණේ මේ අතරය. එම භට පිරිසට නායකත්වය දුන්නේ මේජර් ජනරාල් සුමිත් මානවඩුගේය. ඔහු, ජනවාරි 26-, 27 දිනවල සරත් ෆොන්සේකා හා ඔහුගේ සහයකයන් රැඳී සිටි සිනමන් ලේක්සයිඞ් හෝටලයට කඩාවැදුණු භට කණ්ඩායමට නායකත්වය දුන් පුද්ගලයා විය.

මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ ෆොන්සේකා ඇමතුවේය. “සර්, මා සිදු කරන්නේ මට ලැබී ඇති අණ ක්‍රියාත්මක කිරීම පමණයි. කරුණාකර අප සමඟ පැමිණෙන්න.” තමා සිවිල් පුරවැසියකු බවද, හමුදා පොලිසියට තමා අත්අඩංගුවට ගැනීමට බලයක් නොමැති බවද පුනරුච්චාරණය කළ ජනරාල්වරයා පොලිසිය පැමිණෙන්නේ නම් තමා ඔවුනට බාරවීමට සූදානම් බවද කියා සිටියේය. පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පහළ මාලයේ සිටින බව පැවසූ මානවඩුගේ ඔවුනට ඉහළ මාලයට පැමිණෙන ලෙසට පැවසීය. එවිට ජනරාල්වරයා “ඔව් මෙහි පැමිණ ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරන්නැ”යි පැවසීය. මෙහිදී මේජර් ජනරාල් මානවඩුගේගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය හෙයින් ඔහු පරුෂ ස්වරයෙන් පිළිතුරු දුන්නේය. දෙදෙනා අතර උණුසුම් වදන් හුවමාරුවක් ඇති විය.

මෙහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, ජනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නේ කුමන චෝදනා යටතේදැයි බි්‍රගේඩියර් විජේසිරිගෙන් විමසූ විට ජනරාල් ෆොන්සේකාට එරෙහි චෝදනා පත්‍රය යළි කියවන මෙන් බි්‍රගේඩියර් විජේසිරි එහි සිටි නිලධාරියකුගෙන් ඉල්ලා සිටියේය. නිලධාරියා චෝදනා පත්‍රය කියවන අවස්ථාවේ නොඉවසිලිමත් වූ මානවඩුගේ එයට බාධා පමුණුවමින් “අපට එක එක දේවල් කියවන්න වෙලාවක් නැහැ. අපට මොහු අත්අඩංගුවට ගැනීමට තියෙනවා” යනුවෙන් රළු හඬින් පවසා ජනරාල්වරයා අත්අඩංගුවට ගන්නා ලෙසට තම නිලධාරින්ට අණ කළේය. හමුදා භට කණ්ඩායම ජනරාල්වරයාට සමීප වෙත්ම “මගේ ඇඟට අත තියන්න එපා” ඔහු ගුගුලේය. “එයාව අල්ල ගන්නවා” මානවඩුගේ සොල්දාදුවන්ට නැවත අණ කළේය. සොල්දාදුවන් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට මැළිවන බැව් දුටු මානවඩුගේ “ඇයි බලන් ඉන්නේ බෙල්ලෙන්ම අල්ල ගන්නවා” යනුවෙන් මොර දුන්නේය.තම අණදෙන නිලධාරියාගේ අණට කීකරු වූ සෙබළු ජනරාල් ෆොන්සේකා අල්ලාගෙන එළියට ඇදගෙන ඒමට උත්සාහ කළහ. එහෙත් ජනරාල්වරයා තම මේසය තරයේ අල්ලා ගනිමින් “පොලිසියට එන්න කියන්න. එතකොට මම එන්නම්” යනුවෙන් කෑ ගැසීය.

සටන් පෙරමුණේ යුදගැටුම් රැසකට මුහුණ දී අත්දැකීම් රැසක් ලබා සිටි ජනරාල්වරයා, මින් මාස අටකට ඉහත තමා යටතේ සේවය කළ සොල්දාදුවන් පිරිසකගේ බලහත්කාර පැහැර ගැනීමෙන් වැළකී සිටින්නට ඒ මොහොතේ සටන් කරමින් සිටියේය. ෆොන්සේකා තමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ එක් නිලධාරියකුගේ කබායේ වූ නම සඳහන් පටිය කඩා දැමීය. එහි වූ ආසන පෙරළී තැන තැන විසිරී තිබිණි. තේ බඳූන් හා කෙටි ආහාර සහිත බන්දේසිය බිම පතිතව විසිරී ගියේය.ජනරාල්වරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව සේනක සිල්වා විරෝධය පෑ අවස්ථාවේ ෆොන්සේකා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිස් බාරයට පමුණුවන ලෙසට මානවඩුගේ තම නිලධාරීන්හට අණ කළේය. සේනක සිල්වා හමුදා භටයන් විසින් ඉවතට රැගෙන ගිය අතර ඔහු පොලිස් බාරයට පමුණවන ලදැයි පසුව අනාවරණය විය. තම නිලධාරින් දෙසට හැරුණු මානවඩුගේ ජනරාල් සරත් ෆොන්සේකා ඇදගෙන යන ලෙසට නිලධාරින්හට අණ කළේය.

ජනරාල්වරායගේ දෑත් හා දෙපයින් අල්ලාගත් සෙබළු ඔහු බලහත්කාරයෙන් ඇදගෙන යන්නට වූහ.හිටපු හමුදාපතිවරයාට හමුදා නිලධාරින් පිරිසක් විසින් සිදු කෙරුණු අවමානය දේශපාලනඥයන් කණ්ඩායම සියැසින් දුටහ. ඔවුන් නොතැකූ මානවඩුගේ, තමා ඉහළින් ලද අණ ක්‍රියාත්මක කරන බැව් පැවසීය. රවුෆ් හකීම් ඔහු හා වාද කිරීමට උත්සහ කළ අවස්ථාවේ සෙබළුන් පිරිසක් ඔහු ඉදිරියට පැමිණි අතර ‘තමාගේ ඇඟට අත නොතබන ලෙසටත්, එසේ වුවහොත් එහි ප්‍රතිවිපාක විඳීමට සිදුවන බවටත් ඔවුනට පවසන්නැ’යි හකීම් මානවඩුගේට පැවසීය. දෙශපාලනඥයන්ගෙන් ඈත් වී සිටින ලෙසට මානවඩුගේ තම සෙබළුන්ට අණ කළේය.ජනරාල්වරයාගේ දෑතින් හා දෙපයින් අල්ලාගත් සෙබළු ඔහු පඩිපෙළ මතින් පහත මාලයට බිම දිගේ ඇදගෙන ආහ. ජනරාල්වරයා කෑගසමින් දඟලමින් ඇදගෙන යෑමට විරෝධය පෑ විට ඔහු පාලනය කර ගැනීම සඳහා සෙබළු ඔහුට පහර දුන්හ. එක් සෙබළකු ජනරාල්වරයාගේ හිසට තදින් පහරක් එල්ල කළේය.

ජනරාල්වරයා ඔවුනට ඉංග්‍රීසියේ සහ සිංහලයේ ඇති නරකම වදන්වලින් බැණ වැදුණේය. 59 හැවිරිදි ජනරාල්වරයා 2006 අප්‍රේල් මාසයේ එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට මුහුණ දී තිබිණි. සොල්දාදුවෝ රළු ආකාරයට බිම දිගේ ඇදගෙන යනු ලැබුවේ රට වෙනුවෙන් කැපකිරීම් කළ එවැනි පුද්ගලයෙකි. පහත මාලයට ඔහු රැගෙන ආ සෙබළු ජනරාල්වරයාගේ දෑතට විලංගු දමා ඔවුන් පැමිණි වාහනයක් වෙත රැගෙන ගියහ. තමාට ඇවිද යා හැකි බවත් එහෙයින් බිම තබන ලෙසත් ජනරාල්වරයා සෙබළුන්ට පැවසීය. ඔහු කෙටි දුරක් ඇවිද ගිය අතර වෙඩි නොවදින ලෑන්ඞ් රෝවර් ජීප් රථයකට නංවනු ලැබූ අතර නාවික හමුදා මූලස්ථානය වෙත රැගෙන ගොස් එහි කුටියක රඳවා තැබිණි. ෆොන්සේකා සමඟ සාකච්ඡාවට සහභාගීවීමට පැමිණ සිටි දේශපාලනඥයනට විනාඩි 45ක් පමණ ගතවන තෙක් ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට හමුදාව අවසර දුන්නේ නැත.

දේශපාලනඥයෝ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජංගම දුරකථන මගින් අනෙකුත් දේශපාලන පක්ෂ සහ මාධ්‍ය දැනුම්වත් කිරීමට පියවර ගත්හ. හමුදාව අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඡායාරූපගත කිරීමට මාධ්‍යයට අවසර නොදුන් අතර ඇතැම් දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ කැමරාවල වූ ‘චිපයන්’ තම භාරයට ගත් බැව් වාර්තා විය.දේශපාලනඥයෝ එදින සිදුවීම පිළිබඳව ඇසින් දුටු දේ මාධ්‍යට ප්‍රකාශ කළහ. මෙම නාටකයේ දිගුවක් ලෙසින් පොලිස් විමර්ශන කණ්ඩායමක් රැජන පාරේ වූ ජනරාල්වරයාගේ පෞද්ගලික නිවෙසට ගොස් එය පරීක්ෂාවට ලක් කළ අතර, ඔහුගේ පෞද්ගලික ගිනි අවිය තම භාරයට ගත්හ. මෙය සිදුවූයේ ජනරාල්වරයා අත්අඩංගුවට ගැනීමෙන් සුළු මොහොතකට පසුය. ජනරාල්වරයා අත්අඩංගුවට ගත් බව හෝ ඔහු කොතැනක රඳවා තබා සිටීද හෝ යන්න හමුදාව අනෝමා ෆොන්සේකා මහත්මියට දැනුම් දී තිබුණේ නැත.තම සැමියා අත්අඩංගුවට පත්ව ඇති බැව් දැනගත් විට අනෝමා ෆොන්සේකා මහත්මිය දැඩි කනස්සල්ලට පත් වූවාය. ඇය වඩාත්ම බිය වූයේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙනි.

එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ජනරාල්වරයාගේ සිරුර අභ්‍යන්තරයේ ඇතිවූ තුවාල සුවවීම සඳහා සෑම පැය හයකට වරක් එක්තරා ඖෂධයක් ලබා ගත යුතු විය. ඇය බිය වූයේ නියමිත වේලාවට ඔහුට එම ඖෂධ ලබාගත නොහැකි වීම සම්බන්ධයෙනි. සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනුණේ පෙබරවාරි 8 වැනිදා වුවද ඔහුට සහ ඔහුගේ සහායකයන්ට එරෙහි මෙහෙයුම ආරම්භ වූයේ ජනාධිපතිවරණය පැවැති ජනවාරි 26 වැනි දින රාත්‍රියේ සිටය. එදින රාත්‍රියේ ජනරාල්වරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ද ආරක්ෂකයන් හා විපක්ෂයේ ප්‍රධාන භූමිකා ද, කාර්යාල සාමාජිකයෝ ද කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේ කාමර 70ක් වෙන්කරගෙන එහි පදිංචියට ගියේ ආරක්ෂාව පිණිසය. එහි පදිංචියට යෑම පිළිබඳ දැඩි සතුටින් පසු වූ ෆොන්සේකා “මෙතැන මගේ මූලස්ථානය වේවි” යනුවෙන් පැවසීය.ජනරාල් ෆොන්සේකා සහ හමුදාවෙන් පලා ගිය අවිගත් සෙබළුන් 400 දෙනකු කුමන්ත්‍රණයක් සැලසුම් කර ඇති බවත්, ඔවුන්ගේ අරමුණ ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීම බවත් රජයේ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණේ මේ අතරය. ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වූහ.

හිමිදිරි පාන්දර මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ ගේ නායකත්වයෙන් යුතු හමුදා නිලධාරීන් හා කොමන්ඩෝ භට කණ්ඩායමක් විසින් සිනමන් ලේක්සයිඞ් හෝටලය වටලනු ලැබීය. හෝටලයේ සිටි පිරිසට ඉවත්වීමට අවසර ලැබුණු අතර ඇතැමෙක් පරීක්ෂාවට ලක් කෙරිණි. හමුදා විනය උල්ලංඝනය කොට ෆොන්සේකා සමඟ සම්බන්ධ වූවා යැයි චෝදනා ලත් නිලධාරින්ට යටත් වන ලෙසට ඔවුහු පැවසූහ. එසේ යටත් වූ පිරිස මහමග දණගස්වා අපහාස කළහ. ෆොන්සේකාගේ ඇතැම් සහයකයෝ එම ස්ථානය මගහැර යාමට සමත් වූහ. ජනරාල්වරයාට රැජන මාවතේ පිහිටි නිවෙසට යාමට අවසර ලැබිණි. රාජකීය මාවතේ පවත්වාගෙන ගිය ඔහුගේ මැතිවරණ කාර්යාලය වැටලූ පිරිස එහි සිටි විශ්‍රාමික හමුදා නිලධාරීන් සය දෙනකු සහ සෙබළු නව දෙනකු අත්අඩංගුවට ගෙන එහි තිබූ පරිගණක තම භාරයට ගත්හ. හමුදාව “පිරිසුදු කිරීමේ” දඩයම ආරම්භ කෙරිණි. 1992 ස්ථාපිත හමුදා රෙගුලාසි පනතේ 39 වැනි වගන්තිය යටතේ එවක සිටි හමුදාපතිවරයා විසින් මේජර් ජනරාල්වරු 5 දෙනෙක්, බි්‍රගේඩියර්වරු 5 දෙනෙක්, කර්නල්වරයෙක්, ලුතිනන් කර්නල්වරයෙක් සහ කපිතාන්වරු දෙදෙනෙක් 2010 පෙබරවාරි 1වැනි දින සිට බලපවත්වන පරිදි අනිවාර්ය විශ්‍රාම ගන්වනු ලැබූහ.

මෙතරම් විශාල නිලධාරින් පිරිසක් මේ අයුරින් විශ්‍රාම ගැන්වූ ප්‍රථම අවස්ථාව මෙය විය. මේ සියලු දෙනා ජනරාල් සරත් ෆොන්සේකාට පක්ෂපාතිත්වය පළ කළ අය වූහ.ජනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ එක්සත් ජාතික පෙරමුණු නායක හා විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ ඉන්දියාවේය. නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා දුරකථන ඇමතුමක් මගින් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පිළිබඳ පුවත ඔහුට දැනුම් දුන්නේය. තම සංචාරය කෙටි කොට කඩිනමින් යළි පැමිණෙන බැව් වික්‍රමසිංහ මහතා ජයසූරිය මහතාට පැවසීය. එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් වූ කරු ජයසූරිය (එජාප) සෝමවංශ අමරසිංහ (ජවිපෙ), රවුෆ් හකීම් (ශ්‍රීලමුකො) මනෝ ගනේෂන් (ප්‍රජාපෙ) සහ මංගල සමරවීර (ශ්‍රිලනිප මහජන පාර්ශ්වය) පෙරවාරි 9 වැනි දින සමුහ නිවේදනයක් නිකුත් කළහ.ජනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට පත්ව, රඳවා තබා, විමර්ශන පවත්වා, අභිචෝදනා ගොනු කොට, වරදකරු කොට, සිරගතකොට, නිදහස්ව, උදුරාගත් කීර්තිය යළි ලබා දී ෆීල්ඞ් මාෂල් ධුරයට උසස්කොට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් පත් කිරීම දක්වා අතර කාලය වසර ගණනක් ගෙවී ගොසිනි. වර්තමානයේ ඔහු දේශපාලනඥයකු බවට පත්ව සිටී.

2016 වසරේ ඩී.බී.එස් ජෙයරාජ් ඩේලිමිර්ර් පුවත්පතට ලියන ලද ලිපියේ පරිවර්තනයකි. මෙම ලිපිය 2016 පෙබරවාරි 23දා ඉරිදා ලංකාදීපයේ පළවිය මෙහි ඇතැම් තොරතුරු අදට සරිලන පරිදි සංස්කරණය කළෙමි


පරිවර්තනය
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles