Saturday, January 11, 2025

නන්දිගේ නවසීලන්ත ගමන වළකී

නන්දි නමැති වයස අවුරුදු පහක් පමණ වූ දුර්ලභ ගණයේ අලි පැටවෙකු නවසීලන්තයට යැවීම හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අද (13) පශු සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා සහ වනජීවි අධ්‍යක්ෂකවරයා ඇතුළු බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කළේය.
වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති රතු දන්ත ‍පොතේ නම් සඳහන් සුවිශේෂී ගණයේ අලි පැටවෙකු වන “නන්දි” නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තර කර ගැනීමේ අරමුණ පෙරදැරිව නවසීලන්තය වෙත යැවීමට බලධාරීන් පියවර ගනිමින් පවතින බව පෙන්වා දෙමින් ධර්ම විජය පදනම, සත්ව අයිතීන් සුරැකීමේ පදනම ඇතුළු ‍පොදු සංවිධාන කිහිපයක් ඇතුළු 18 දෙනෙකු එක්ව ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය කළේය. එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ හා පී. පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි. එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ මේ වන විට පින්නවල ඇත් අතුරු සෙවණේ රඳවා සිටින එම අලි පැටවා නවසීලන්තයට පරිත්‍යාග කිරීම සඳහා පසුගිය පෙබරවාරි මස නවසීලන්ත අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දෙරට අතර ගිවිසුම් අත්සන් කර ඇති බැවින් එම ගිවිසුම බල රහිත කරන නියෝගයක් නිකුත් කරනා ලෙසයි.
නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර පිහිටි කෘතිම ලෙස සකස් කරන ලද අලි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත එම අලි පැටවා යැවීමට සැලසුම් කර ඇති බව ද සිය පෙත්සම මගින් පෙන්වා දී තිබූ පෙත්සම්කාර සංවිධාන එවැනි කුඩා අලි පැටවකු එවැනි කෘත්‍රිම අලි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තැබිම එම සත්වයාගේ සෞඛ්‍ය ආරක්ෂාවට බලවත් තර්ජනයක් විය හැකි බවට සත්ව විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ යැයි ද පෙන්වා දී තිබුණි.
නන්දි තවමත් අවුරුදු පහක් නොඉක්මවූ වයසක සත්වයෙකු බවත් එවැනි කුඩා සත්වයෙකුව මවගේ රැකවරණයෙන් ඉවත් කිරීම සත්ව හිංසාවක් වන්නේ යැයි ද පෙත්සම්කරුවන්  එමගින් අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.
පශු සම්පත් සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ඇතුළු 41 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස එම පෙත්සම ගොනුකර තිබුණි.
එම පෙත්සම ලබන අගෝස්තු 2 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles