Thursday, December 26, 2024

නල්ලූර් වෙඩික්කරු ‘පැන්ෂන්’ ගිය කොටියෙක්

පසුගිය 22 දා සිදුවූ නල්ලූර් වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය වී සිටි පුද්ගලයා අද (25) පෙරවරු 07.00ට පමණ යාපනය පොලිසියට භාර වී ඇත.

ඒ අනුව සෙල්වරාජා ජෙයන්තන්  නම් වන 39 හැවිරිදි ඔහු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට  හැකි වී ඇත.

යාපනය නල්ලූර් ප්‍රදේශයේ උපත ලැබූ ඔහු ස්ථිර රැකියාවක් නොමැත්තෙකි. විවිධ ජීවනෝපායන් හි යෙදී සිටි ජෙයන්තන් 1996 වසරේ සිට එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත. එහිදී ඔහු ගිනි අවි භාවිතය ඇතුළු යුද පුහුණුවක් ද ලබා තිබේ.

1999 වසරේ කයිට්ස්, අල්ලපිට්ටි, මාන්කුම්බාන් ප්‍රදේශයේ කාන්තාවක හා විවාහ වී සිටි ඔහු ඔහුට එම විවාහයෙන් ‍දියණියන් සිව් දෙනෙක් සිටිති. යාපනයේ සිට ඌරිකට්ටුවාන් දක්වා දිවෙන පෞද්ගලික බස් රථයක රියදුරු වශයෙන් කටයුතු කර ඇති ඔහු ඔහු සතුව ත්‍රිරෝද රථයක් ද තිබී ඇත.

2009 වසරේ දී පළමු විවාහය හැර දමා පුන්කුඩුතිව් ප්‍රදේශයේ කාන්තාවක හා විවාහ වූ ඔහුට එම විවාහයෙන් ද ගැහැණු දරුවන් සිව් දෙනෙක් සිටිති.

පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ලෙස සමාජ ගත වුවද ඔහුගේ කලහකාරී සහ දාමරික ක්‍රියා එලෙසින්ම තිබී ඇත. එනිසාම 2012 වසරේ තිරිප්පලේ ප්‍රදේශයේ දී මිනිස් ඝාතනයකටද සම්බන්ධ වන ඔහු මේ වන විට අධිකරණයෙන් ඇප මත නිදහස් වී සිටින්නෙකි. සිද්ධිය වූ දින ඔහු තම වැඩිමල් සොයුරා සහ ඥාති සොයුරෙකු සමඟ බීමත්ව නල්ලූර් කෝවිල ඉදිරිපිට ත්‍රිරෝද රථ ගාලට පැමිණ තම උපන් ගමේ ත්‍රිරෝද රථ ගාලේ හිමි කම තමන්ට අවශ්‍ය බව කියමින් සෙසු රියදුරන් හා කලහයකට මුල පුරා ඇත. මක්නිසාද නල්ලූර් කෝවිල ඉදිරිපිට ත්‍රිරෝද රථ ගාල යාපනයේ අතිසාර්ථකම ත්‍රිරේද රථ ගාලක් වන බැවිනි.

මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන්  මහතාගේ රථයේ ඉදිරියෙන් පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ මෝටර් සයිකලයට එම ස්ථානය පසු කිරීමට නොහැකි වී ඇත්තේ එම කළහය නිසා ඇති වූ රථ වාහන තද බදය නිසාය. එහිදී මියගිය පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා සමඟ පොරබැදීමක යෙදී  රාජකාරි පිස්තෝලය උදුරාගන්නා ඔහු පොලිස් නිලධාරීන් දෙදෙනාට වෙඩි තබනුයේ තමන් එල්.ටී.ටීයෙන් උගත් අවි පුහුණුව මුල්කොට බව පෙනේ. පසුව එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි කාන්තාවක සතු කුඩා යතුරු පැදියක් පැහැර ගන්නා ඔහු එම ස්ථානයෙන් පලා යන අතර පසුව එම යුතු පැදිය ඊට කිලෝමීටර් 09 ක් පමණ දුරින්  ඇති අරියාලේ ප්‍රදේශයේ තිබී හමුවී ඇත.

කෙසේ හෝ ඔහු අද පෙරවරුවේ යාපනයේ පොලිසියට භාර වීමත් සමඟම ඔහු යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු  යොදා ඇත.


Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles