Monday, September 23, 2024

නව කොවිඩ් ප්‍රභේදය රටට ඇතුල් වුවහොත් යලිත් කොවිඩි රැල්ලක්

මේ වන විට ලෝකයේ බොහෝ රටවල වාර්තා වී තිබෙන දැනට භාවිතා කරන එන්නත් වලටද ප්‍රතිචාර නොදක්වන A 30 ප්‍රභේදය මෙරටට ද ඇතුල් වීමේ අවදානමක් තිබෙන අතර එසේ වුවහොත් ඉතා ව්‍යසනකාරී තැනකට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

එසේම දෙසැම්බර් මාසයේදී යළිත් කොවිඩ් ආසාදිතයන් වැඩිවීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.COVID-19 පැතිරීමේ තර්ජනය ශ්‍රී ලංකාව තුළ තවදුරටත් පවතින බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ලොව මෙතෙක් වාර්තා වූ සියලුම කොවිඩ් ප්‍රභේද පාහේ මෙරටින් වාර්තා වූ හෙයින් මෙම නව ප්‍රභේදයද ඇතුල් නොවේවි යන්න අපේක්ෂා කළ නොහැකි බවයි උපුල් රෝහණ මහතා කියා සිටින්නේ.

රටට ඇතුල් වුවහොත් දැනට පවතින සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ තත්ත්වය මත එය ඉතා සිඝ්‍රයෙන් පැතිර යාමේ ඉඩක් පවතින බවද ඔහු සඳහන් කරයි.

”ලෝකයේ බොහෝ රටවල්වල නව කොවිඩ් 19 ප්‍රභේදයක් වාර්තා වෙලා තියෙනවා. මේ ප්‍රභේදය අපි දැනට භාවිතා එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන ප්‍රභේදයක් බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ නිසා දැනට අපේ එන්නත් ආවරණය ඉතා ඉහළ මට්ටමේ පවත්වාගෙන ගියත් මේ ප්‍රභේදය අපේ රට තුළට ඇතුල් වුණොත් ඉතාම ව්‍යසනකාරී තැනකට රට තල්ලු වෙලා යයි. විශේෂයෙන්ම අපි කියන්නේ මේ ප්‍රභේදය රට ඇතුළට ඇතුල් නොවෙයි කියල අපිට කිසිසේත්ම අපේක්ෂා කරන්න බැහැ. මේ වෙනකම් ලෝකයේ වාර්තා වුණ සියලුම ගණයේ ප්‍රභේද අපේ රටට ඉතාම කෙටි කලකින් ඇතුල් වුණා. ඒ නිසා මේකත් නොදුරු දිනයේදී අපේ රටට ඇතුල්වීමට නියමිතයි. ඇතුල් වුණහම රට තුළ මේ වෙද්දී පවතින සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ තත්ත්වය ඉතාම දුර්වල නිසා රට තුළ ඉතාම සිඝ්‍රයෙන් පැතිර යන්න පුළුවන්. පැතිර ගියොත් මේ එන්නත් ලබාගෙන එන්නත්  මත යැපෙමින් කටයුතු කරන මහජනතාව ඉතාම අසීරු තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා අපට කළ හැකි සහ කළ යුතු එකම දේ සෞඛ්‍ය උපදෙස් ඉතාම දැඩිව පිළිපැදීම පමණයි. ඉදිරියේදී තවත් මෙවැනි ප්‍රභේද වර්ධනය වීමේ අවදානමක් තිබෙනවා. විශේෂයෙන් මේ රෝගීන් වාර්තා වෙන්නේ එන්නත් ලබාගත් අයවලුන් අතරින් . ඒ නිසා ඔවුන් තුළ ගොඩනැගෙන වෛරස එන්නතට ප්‍රතිරෝධී වගේම ප්‍රතිචාර නොදක්වන තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් ඉදිරියේදීත් තියෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles