Sunday, December 22, 2024

නාය අවදානම් ඇති දිස්ත්‍රික්ක 8ක් සිතියම්ගත කෙරේ

නාය යෑමේ අවදානම සහිත දිස්ත‍්‍රික්ක අටක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් සිතියම් ගතකර තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, බදුල්ල, බණ්ඩාරවෙල සහ කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවලට අදාළ මෙම අවදානම් ප‍්‍රදේශ සම්බන්ධයෙන් ඉදිරියේ දී වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද හෙතෙම කීවේය.

එම ප‍්‍රදේශවලට පහසුවෙන් ළඟා විය නොහැකි තැන්වල පවත්නා අවදානම ඩ්‍රෝන තාක්ෂණය මගින් අධ්‍යයනය කර සිතියමට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් මෙම කටයුතු කල්නෑර සිදු කළ යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

නාය යෑමේ අවදානම සම්බන්ධව දැනට සිතියම් ගත කර තිබෙන්නේ දිස්ත‍්‍රික්කයක ප‍්‍රදේශ වශයෙන් බවත් මෙය ඉතා කුඩා ප‍්‍රමාණයේ ස්ථාන ලෙස ගෙන හැර දැක්වීම සම්බන්ධව අවධානය යොමු විය යුතුව තිබෙන බවත් ඒ මහතා පැවසීය. අදාළ සිතියම් ගත කිරීම මෙයට වසර ගණනාවකට පෙර සිදුකර තිබෙන බවත් එම ප‍්‍රදේශවලට පහසුවෙන් ළඟා වීමට නොහැකි ස්ථාන ඩ්‍රෝන කැමරා මගින් අධ්‍යයනය කර නව පැලීම් ඇතිව තිබෙන්නේ ද යන්න සම්බන්ධව සොයා බැලීමක් කළ යුතුව තිබෙන බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය.

නාය යෑමේ අවදානම් ඇති බවට හඳුනා ගත් දිස්ත‍්‍රික්කවලට අධික වර්ෂාවක් වාර්ෂිකව ලැබෙන බවත් මෙම ප‍්‍රදේශවල ස්ථාන ගණනාවක පාෂාණ මත පස් තට්ටු පිහිටා තිබෙන බවත් කී ඒ මහතා මිලි මීටර් 100 ඉක්මවා පවතින වර්ෂා අවස්ථාවක පොළොව මතුපිට ඇති පස් තට්ටුව තුළට ජලය ගොස් පාෂාණය හා පස් තට්ටුව අතර ඇති සම්බන්ධතාව බිඳී යෑමෙන් නාය ඇති වන බව ද අවධාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles