Thursday, January 23, 2025

නිද­හසේ පියා ඩී. එස්. 12 වැනිදා සිට තිර­යට

සිංහල හා දමිළ භාෂා ද්විත්වයෙන් ම එකවර ප්‍රදර්ශනය කෙරෙනවා

හැත්තෑ වසරක් ඉක්මවූ හෙළ සිනමා වංශකතාවේ ඓතිහාසික අවස්ථාවක් සලකුණු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික චිත්‍රපටයක් සිංහල හා දමිළ භාෂා ද්විත්වයෙන් ම එකවර ප්‍රදර්ශනය කිරීමේ භාග්‍ය ලබමින් හෙළයේ ප්‍රථම දේශපාලන චරිතාපදාන සිනමා නිර්මාණය වූ සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් අප රට නිදහස් කර ගැනීමේ සටනට නායකත්වය සැපයූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ශූරීන්ගේ ජීවන චරිතය ඇසුරෙන් තැනූ ‘නිදහසේ පියා – ඩී. එස්.‘ චිත්‍රපටය එළඹෙන 12වන දින සිට දිවයින පුරා රිද්මා මණ්ඩලයේ සිනමාශාලාවන්හී දී තිරගත කිරීමට නියමිතව ඇත.

සිංහල පිටපතේ මංගල දර්ශනය කොළඹදීත් දමිළ පිටපතේ මංගල දර්ශනය යාපනයේදීත් එක ම දවසේ පැවැත්වීම මෙහි විශේෂත්වය වේ. මේ අතර මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරයකු වන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ බලපෑමෙන් මෙම චිත්‍රපටය පෝලිම පැන ප්‍රදර්ශනය කරන්නට උත්සාහ කරනවා යන චෝදනාව පසුගියදා එල්ල වුණා. මේ ඒ පිළිබඳව චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා පැහැදිලි කිරීමක් කළා.

‘‘මම සිනමාවට හරියටම සම්බන්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයෙක්. කවුරු හරි කියනවා නම් මේ වෙලාවේ චිත්‍රපට පෝලිමක් තියෙනවා කියලා සහ ඒ පෝලිම පැනලා මේ චිත්‍රපටය ඇවිල්ලා තියෙනවා කියලා ඒ කියන කවුරු හෝ චිත්‍රපට ගැන දන්නෙ නැහැ. මේ රටේ සිනමාව ගැන කිසිම අවබෝධයක් නැති අය තමයි එහෙම කියන්නේ. මොකද හේතුව ලංකාවේ කිසිම පෞද්ගලික හෝ රාජ්‍ය ආයතනයක චිත්‍රපට පෝලිමක් නැහැ. සමහරු කියන්න පුළුවන් සෙන්සර් බෝඩ් එකෙන් සෙන්සර් කරපු සෙටිපිකේට් ඩේට් එකක් තියෙනවා කියලා. නමුත් සෙන්සර් බෝඩ් එකේ සෙන්සර් කරපු පිළිවෙළට කිසිම චිත්‍රපටයක් පෙන්වලා නැහැ. එතකොට හීනෙන් නැගිට්ටා වගේ දැන් වෙන්න බැහැනෙ.

නමුත් ලංකාවේ මේ වනවිට චිත්‍රපට අසූ ගණනක් නිර්මාණය වෙලා තියෙන බව මම පිළිගන්නවා. ඒ අසූ ගණන ඇතුළත මගේ තව චිත්‍රපට තුනකුත් තියෙනවා. හැබැයි ලංකාවේ චිත්‍රපට අසූ ගණනක පෝලිමක් නැහැ. කවුරුවත් එහෙම පෝලිමක් හදලා නැහැ.

මගේ ජීවිතයේ පළමුවැනි චිත්‍රපටය තමයි සිංහාවලෝකනය. එහි නිෂ්පාදකවරයා එවකට විෂය භාර අමාත්‍යවරයා නෙමෙයි. එහෙත් ඒ චිත්‍රපටය අපි දෙසැම්බර් මාසේ 25 වැනිදා වැඩ ඉවර කරලා ජනවාරි මාසේ 14 වැනිදා රිලීස් කළා. ඒ වෙලාවේ තිරගත කිරීම සඳහා නිදහස් කරන්න නියමිත වෙලා තිබුණේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ 18 වැනි චිත්‍රපටය වන චැලෙන්ජර්ස්. ඊට පස්සෙ ඊ ඒ පී ආයතනය තිරගත කරන්න නියමිතව තිබුණේ සරත් වීරසේකර මහත්මාගේ ගාමණී චිත්‍රපටය.

ඒ දෙකම පස්සට තල්ලු කරලා දෙසැම්බර් 25 වැනිදා ඉවරකරපු චිත්‍රපටයක් ජනවාරි 14 වැනිදා රිලීස් කළා 2011 අවුරුද්දේ. මොකද ඒ චිත්‍රපටය අපි හැදුවේ 2011 ලෝක කුසලානය වෙනුවෙන් නිසා සහ ඒක ලංකාවේ පළමුවැනි ක්‍රිකට් චිත්‍රපටය. ඒක මගේ පළමුවැනි චිත්‍රපටය. මම එතකොට මේ ක්ෂේත්‍රයේ කවුරුත් නෙමෙයි. ඒ වගේම එහි නිෂ්පාදකවරයා විෂය භාර අමාත්‍යවරයාත් නෙමෙයි.

ඒකෙන් පැහැදිලි වෙන්නෙ ලංකාවේ මණ්ඩල විසින් තමයි ඒ අය ඊ ළඟට තිරගත කරන්නේ කුමන චිත්‍රපටයද කියලා තීරණය කරන්නේ. අපි දන්න විදිහට දැන් තිරගත වන ඝරසරප වලට පස්සේ එන්න නියමිත චිත්‍රපටය මේ මොහොත වනවිටත් සෙන්සර් කරලාවත් නැහැ. එතකොට නිදහසේ පියා වෙනුවෙන් කතා කරන අය කෝ දැන් ඒක ගැන කතා කරනවද? නැහැ.

එහෙම නම් ඇයි මේ වගේ චෝදනාවක්.?

විෂය භාර ඇමැතිවරයා සමඟ යම් ගැටලුවක් ඇතිවුණා පොතක් හෝ වේදිකා නාට්‍යයක් හෝ ගුවන් විදුලි නාට්‍යයක් හෝ තහනම් කිරීමක් සම්බන්ධව. චිත්‍රපට නිෂ්පාදනයට නිෂ්පාදකවරු ඇමති වරයෙක් හෝ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම හොඳ දෙයක්නෙ. එතකොට එතුමා මැදිහත් වෙනවා මේ ලංකාවේ මීට කලින් හදලා නොතිබුණු අපේ රටට නිදහස ලබාගන්න සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් නායකයෝ එකතුවුණේ කොහොමද කියන කතාව හදන්න.

ඊට අමතරව අපට තව නිෂ්පාදකවරු 9දෙනෙක් මෙයට සම්බන්ධ වෙනවා. දැන් ඇමැතිවරයා සමඟ ඇතිවන පෞද්ගලික දෙයක් සමඟ මේ චිත්‍රපටය පටලවා ගන්න එක කොහෙත්ම සාධාරණ නැහැ. අපේ ක්ෂේත්‍රයේ අය දන්නවා චිත්‍රපට වලට නිල පෝලිමක් තිබුණෙම නැහැ. ඒ කියන්නෙ පෝලිමක් නැත්නම් පෝලිම පනින්න බැහැ. නමුත් සාමාන්‍ය ප්‍රේක්ෂක ජනතාව මේ ගැන දන්නෙ නැහැ.

දැන් මේ අය පුවත්පත්වලින් සහ රූපවාහිනී නාළිකාවලින් කිව්වාම සාමාන්‍ය ප්‍රේක්ෂක ජනතාව හිතන්න පුළුවන් එහෙම නම් ඇත්තටම මේ චිත්‍රපටය මොකක් හරි වැරැදි මාර්ගයකින්ද මේ තිරගත කරන්න හදන්නේ කියලා. ඒක අපේ පැත්තෙන් අසාධාරණයි. මොකද කිසිම සර්කිට් එකක් ඊළඟට තිරගත කරන්න තිබෙන චිත්‍රපට 5 වත් කියන්න දන්නෙ නැහැ. ඒක තමයි ඇත්ත. සෙල් සහ රිද්මා මණ්ඩල මාරුවෙන් මාරුවට චිත්‍රපට දාන්නෙ.

එල් එෆ් සී අයි මණ්ඩල දෙක එකතුවෙලා චිත්‍රපට දාන්නෙ. ඊ ඒ පී මණ්ඩලය තනිවම චිත්‍රපට දාන්නෙ. මේ මණ්ඩල පහ එකතුවෙලා ධාරා තුනක් හදාගෙන චිත්‍රපට ප්‍රදර්ශනය කරනවා. නමුත් කිසිම මණ්ඩලයක් ඔවුන්ගේ ඊළඟට එන චිත්‍රපට 5 කියන්න දන්නෙ නැහැ.

ඝරසරප චිත්‍රපටය දුවන කොට ටවුමෙ ඉස්කෝලෙ කියලා ප්‍රචාරක පටයක් දිව්වා. හැබැයි ඊළඟට ටවුමෙ ඉස්කෝලෙ නෙමෙයි එන්නෙ මේ මොහොතෙ වැඩ ඉවරවත් නැති ඉන්දියාවේ තියෙන චිත්‍රපටයක්. ඒක තව සෙන්සර් බෝඩ් එකෙන් සෙන්සර් කරලාවත් නැහැ. මේ චෝදනාව බොරු වෙනත් කුහක කමකට ඊර්ෂ්‍යාවකට කරන ප්‍රකාශයක් බව පැහැදිලියි.

2017 අවුරුද්දේ ලංකාවේ හයි බජට් චිත්‍රපට දෙකයි හැදුණේ. එහෙම එකක් ගැන නිකම් බොරු ප්‍රකාශයක් කිරීම තේරුමක් නැහැ. මේ වෙනුවෙන් ලොකු තාක්ෂණික පිරිසක්, රංගන ශිල්පීන් පිරිසක්, මහන්සි වුණා. මේ ඔක්කොම අපරාදෙ වෙලා තියෙනවා දැන් මේ පෝලිම පැනලා එන්නෙ, ඇමැති තුමාගේ බලය නිසා දාගන්නෙ වැනි කියමන් නිසා.

අපි කණ්ඩායමක් ලෙස මහන්සිවෙලා හදපුනිසා නෙමෙයිද මේක එන්නෙ. ඒ සියල්ල යටපත් වෙලා තියෙනවා. මෙහි දේශීය රංගන ශිල්පීන් 76 දෙනෙක් සහ විදේශීය රංගන ශිල්පීන් විසි ගණනක් දෙබස් තියෙන ප්‍රධාන චරිත රඟපානවා.

ඊට අමතරව අතිරේක නළු නිළියන් 1000 ක් පමණ රඟපානවා. සම්පූර්ණයෙන් වැඩ අවසන් කරන්න අවුරුදු තුනක් ගතවුණා. ඒ වගේම ලක්ෂ නමසියයක වියදමක් මේ චිත්‍රපටය වෙනුවෙන් වියදම් කරලා තිබෙනවා. මම ආරාධනා කරනවා මේ රටේ ජීවත්වන සියලුම ශ්‍රී ලාංකිකයින්ට මේ චිත්‍රපටය නරඹන්න එන්න අපේ රටට නිදහස දිනා දුන් ඒ ශ්‍රේෂ්ඨ නායකයාගේ චරිතය ගැන දැනගන්න.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles