Friday, January 10, 2025

‘නිවාස ප්‍රශ්නය විසඳන්නට කටයුතු කරනවා’

නිවාස ප්‍රශ්නය විසඳන්නටකටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ‘‘සැමට සෙවණ”වැඩසටහනට සමගාමීව ඉදි වන ලුණුගම්වෙහෙර, අඟුණුකොළවැව, මහඅලුත්ගම්ආර, වවුල්පාලම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී ඔහු කළ කථාව :

“රුපියල් ලක්ෂ 239 ක් වියදම් කර මේ ගම් ප්‍රදේශයට අත්‍යවශ්‍ය වී තිබෙන නවපාලම මාස හතරක් ඇතුළත ජනතා අයිතියට පත් කරන්නට කටයුතු කරනවා. මේ ආණ්ඩුවට ආයුෂ තිබෙන්නේ තව මාස 45 යි. මේ කාලයේදී අඟුණුකොළවැව,වෙහෙරගල ඇතුලු අලුත්ගම්ආර, රණවිරු ගම වැනි ගම්මාන වල නිවාස ප්‍රශ්නය විසඳන්නටකටයුතු කරනවා.

අඟුණුකොළවැව, මහඅලුත්ගම්ආර හා මේ අවට තිබෙන ගම්මාන සියල්ලක්ම දුෂ්කර ගම්මානයි. ඔබ සියලු දෙනා දුෂ්කරතා රැසක් මැද ජීවත් වෙන්නේ. මේ ප්‍රදේශයේ තිබෙන බරපතලම ගැටලුව අලි මිනිස් ගැටුමයි. මේ ගැටලුව නිසා දිස්ත්‍රික්ක ගණනාවක ග්‍රාමීය ජනතාව දිනපතාම භීෂණයට, පීඩාවට, ලක් වනවා. මේ ප්‍රශ්නයට මුල පසුගිය කාලයේ මහා දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමයි. එම ව්‍යාපෘති වලින්ජනතාවට ප්‍රයෝජනයක් අත්වුනේත්නැහැ.

වරායක් හැදුවත් ඉන්එක රජයේ රැකියාවක්වත් බිහිවුණේනැහැ. ගුවන් තොටුපලක් හැදුවත් ගුවන් යානා එහි එන්නෙත් නැහැ. ක්‍රිඩාංගණයක් හැදුවට එහි ක්‍රිකට් ගහන්නේ නැහැ. අද එය මඟුල් ගෙවල් වලට බදු දෙනවා. මේ ව්‍යාපෘති තුනම කිසිම පාරිසරික ඇගයීමකින් තොරවයි සිදුකර තිබෙන්නේ. මෙම සංවර්ධන ව්‍යාපෘති තුනම සිදු කළේ කැලෑ එළිපෙහෙළි කරමිනුයි. මේ වනාන්තරවල ජිවත් වන අලි කොහෙටද යන්නේ කියා  පසුගිය කාලේ හිටපු නායකයන් හිතුවේ නැහැ. අලි ගම් වැදීම, මහජනයා පීඩාවට පත්වීම, මිනිස් ජීවිත අහිමි වීම, වගා හානිය හා දේපල හානිය ගැන පසුගිය කාලයේදී සොයා බැලුවේ නෑ.

ගුවන්තොටුල, වරාය සහ ක්‍රිකට් ක්‍රීඩාංගණයට නම ගහ ගන්නට පමණයි,ඒ පාලයකයින්ට ඕනෑ වුණේ. ඒ කෑදරකම නිසා අද පොදු ජනතාව වන අලි මිනිස් ගැටුමට මැදිව මරණයට පත් වෙනවා.  අක්කර දහස් ගණනක් වනාන්තර එළි පෙහෙළි කරන විට, එහි ජීවත් වුණ අලින්ට එම භූමිය අහිමි වෙන විට එයින් පීඩාවට පත් වෙන්නේ පොදු ජනතාව බව ඒ අය හිතුවද?

අද ජනමාධ්‍ය ඔස්සේ නිතරම අහන්න ලැබෙන්නේ අලි මිනිස් ගැටුම නිසා සිදු වන ජිවිත හා දේපල හානි ගැනයි. මීට හේතුව පසුගිය කාලේ ක්‍රියාත්මක වුණ අවිධිමත් සංවර්ධන රටාවයි. ඒ පාලකයන් බංකොලොත් මහා ව්‍යාපෘති නිර්මාණය කර අවසානයේදී වන අලි මිනිස් ගැටුමක් නිර්මාණය කළා.

අපේ කාලයේ මහවැලිය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සිදු කළා. එම ව්‍යාපෘති නිසා වනාන්තර රැසක් එළි පෙහෙලි කරන්න සිදු වුණා. ඒ වනාන්තර වල සිටි වන අලීන්ට යන එනමං නැති වුණා. ඒත් ඒ වන අලින්ට වෙනමම වාසස්ථාන නිර්මාණය කරන්න අප කටයුතු කළා. මාදුරුඔය ජාතික වනෝද්‍යානයට, සෝමාවතිය ජාතික වනෝද්‍යානයට, පොළොන්නරුවේ ජල නිම්න ජාතික උද්‍යානයට සහ වස්ගමුව ජාතික වනෝද්‍යානයට අතරමන් වු වන අලින් මුදා හැරියා. මහවැලි ව්‍යාපාරය සිදු කරන විට අපට පුළුවන් වුණා අලි මිනිස් ගැටුම අවම කරන්න.

ඒත් පසුගිය කාලේ නායකයෝ වරාය, ගුවන්තොටුපළ සහ ක්‍රිකට් ක්‍රීඩාංගනය හදන විට ඒ ප්‍රශ්න ගැන හිතුවේ නැහැ. එයට විසදුමක් ලැබුනේ නැහැ. අපි ඒ දේවල් කිය කිය ඉන්නේ නැහැ. ඒ ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන්නටවහාකටයුතු කරනවා. වනජීවි අමාත්‍යංශයත් සමඟසාකච්ඡා කර තාවකාලික විසදුමක් හැටියට විදුලි වැට හදනවා. අලි කැලෑවට පන්නා දමන්නට කටයුතු කරනවා. තිරසාර විසදුම් හැටියට වන අලින්ට ස්ථීර වාසස්ථාන ගොඩනැඟීමේ හා වනෝද්‍යානවල වන අලින්ට ජීවත් වීමේ ප්‍රවණතාව වැඩි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. විධිමත් ලෙස වන අලි මිනිස් ගැටුමට විසඳුම් අප ලබා දෙනවා.

පසුගිය කාලයේ සිදු වී තියෙන්නේ විකට රංගනයක් පමණයි. ඒ විකට රංගනය තුළ ඒ අය හිතුවේ යුද ජයග්‍රහණය නිසා සාදාකාලිකවම ජනාධිපති පුටුවේ වැජඹෙන්න ලැබෙයි කියා. ඔවුන් හිතුවේ මුළු රටම, ජනතාවගේ ජන ජිවිතයම  සින්නක්කර ඔප්පුවකින් ලියා ගෙන හිතුමතේ වැඩ කරන්නයි. එහි විපාක වලට අද අපට මුහුණ දීමට සිදුවී තිබෙනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles