නිසි ප්‍රමිතියෙන් තොරයි. මාතර බෙලිඅත්ත දුම්රිය ගමන නවතී

0
978

ඉදිරි සති කිහිපය තුළදී මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් කිරීම නැවැත්වීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගනු ඇතැයි දැනගන්නට ලැබේ.

චීන සමාගමක් විසින් මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදි කරනු ලැබූ අතර එම මාර්ග නියමිත ප්‍රමිතීන්වලට අනුකූල නැතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

එම චීන සමාගම දුම්රිය මාර්ග ඉදි කිරීම සම්බන්ධයෙන් කිසිදු පූර්ව අත්දැකීමක් නැති සමාගමක් බවත් මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීම සම්බන්ධ ව්‍යාපෘතිය පිළිබඳ විමර්ශනයක් කිරීමට කමිටුවක් පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය දිගින් කිලෝමීටර් 26.75 ක් වන අතර එය පසුගිය අප්‍රේල් මාසයේදී මහජනතාවට විවෘත කළ අතර එතැන් සිට මේ දක්වා ගෙවී ගිය කෙටි කාලයේදී දුම්රිය පාලම්වලින් එකක ඉරි තැලීමක් ද දුම්රිය ගොඩනැගිල්ලක සීලිමක් කඩා වැටී ඇති බවත් දැනගන්නට ලැබේ.

පූර්ණ විමර්ශනයක් කර දුම්රිය මාර්ග නියමිත ප්‍රමිතීන්වලට අනුකූලද නැද්ද සොයා බලන තෙක් නව දුම්රිය මාර්ග භාවිත කිරීමෙන් වැළැකී සිටින්නැයි ද ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සතියේදී දුම්රිය බලධාරීන්ට උපදෙස් දී තිබේ. දුම්රිය මාර්ගය ඉදි කිරීමේ අක්‍රමිකතා සම්බන්ධයෙන් මගීන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
දුම්රිය ඉදි කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත්තේ චීනයේ එක්සිම් (එක්ස්පෝට්-ඉම්පෝට්) බැංකුව වන අතර කොන්ත්‍රාත්තුව බාර දී ඇත්තේ චීනයේ ‘චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝට් ඇන්ඞ් එක්ස්පෝට් කෝපරේෂන්’ සමාගමටය.
ඉදි කිරීමේ කටයුතුවල වැඩි හරියක් කරන ලද්දේ චයිනා රේල්වේ ගෘප් 5 (සී.ආර්. 5) සමාගම සහ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයයි.

මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය 1948 න් පසු ශ්‍රී ලංකාවේ ඉදි කරන පළමු දුම්රිය මාර්ගය වන අතර මෙම දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ දීර්ඝතම උමඟෙන් සහ දෙවැනි දීර්ඝතම දුම්රිය පාලමෙන් සමන්විතය. දීර්ඝතම උමඟ කිලෝමීටර 1.5ක් වන අතර දෙවැනි දීර්ඝතම දුම්රිය පාලම කිලෝමීටර 1.04ක් වේ.

ශ්‍රී ලංකාවේ උසම දුම්රිය පාලම්වලින් එකක් ද මෙම දුම්රිය මාර්ගයේ පිහිටා ඇත.  මෙරට දුම්රිය උමං මාර්ගය මෙන්ම මෙරට නවීනතම දුම්රියපොළ ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ ද මාතර සිට බෙලිඅත්ත දක්වා දිවෙන දුම්රිය මාර්ගයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here