Wednesday, September 25, 2024

නිසි බලධාරියෙකුගේ අවසර නැතිව ඒ්කරාශිවීම් බෑ – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන ගැසට් පත්‍රයක්

නිසි බලධාරියකුගේ අවසරයකින් තොරව ජනතා ඒකාරාශිවීම් සහ රැස්වීම් පැවැත්වීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඒකරාශීවීම, ක්‍රියාකාරකම් , අවස්ථාව හෝ ඒ හා සමාන රැස්වීම පැවැත්වෙන ස්ථානය සහ එහි වටපිටාව , ව්‍යුහය හෝ වටමායිම මෙන්ම ඊට සහභාගීවීමට අවසර දෙන උපරිම තැනැත්නන් සංඛ්‍යාව හෝ අවසර ලබාදිය හැකි ධාරිතාව සම්බන්ධයෙන් නව නියෝග නිකුත් කර ඇති බවයි.

යම් තැනැත්තෙකු විසින් එම නියෝග උල්ලංඝණය කරමින් යම් ඒකරාශීවීමක්, ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් හෝ ඒ හා සමාන රැස්වීමක් සඳහා අවසර ලබාදීම හෝ ඊට සහභාගීවීම නොකළ යුතු බව ද නව නියෝගවල සඳහන්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ එවන් අවසරයකින් තොරව ජන ඒකාරාශිවීම් හා රැස්වීම් පවත්වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

දැනට සමස්ත ශ්‍රී ලංකාවම කොවිඩ් -19 සම්බන්ධයෙන් රෝගී ප්‍රදේශයක් ලෙස මෙමගින් නම් කර ඇත.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට සංශෝධන කිහිපයක් එකතු කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් මෙම අතිවිශෙෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මේ අතර කොවිඩ් එන්නත් මාත්‍රා දෙක ලබා නොගත් පුද්ගලයින්ට පොදු ස්ථානවලට ඇතුළුවීම වාරණය කරමින් නීතිමය තත්ත්වය ගෙනඑන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධි විධාන ප්‍රකාරව එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර සමස්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නිසි බලධාරියා විසින් නිශ්චය කරනු ලබන යම් කාලසීමාවක් සඳහා එම නියෝග බලපැවැත්වෙනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles