ජාතිවාදය, ආගම්වාදය ඈදා ගනිමින් පටු දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහ නවතා දමා ලැබී තිබෙන නිදහසින් උපරිම ප්‍රයෝජන ගෙන රටේ සංවර්ධනයට දායක වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පසුගිය දා (16) පැවැති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ හතළිස් හත් වැනි සංවත්සර උළෙලට එක් වෙමිනි.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කර විශ්‍රාම ලැබූ දස දෙනකු වෙනුවෙන් තිළිණ ප්රදානය කිරීම ද මෙහි දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් විශේෂ සමරු තිළිණයක් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද සඳහන් කළේය.
“රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ වාර්ෂික සමුළුවට මම වසර 2010 සිට අද දක්වා අඛණ්ඩව සහභාගී වී තිබෙනවා. සුවිශේෂී ශාසනික සේවාවක් හා ආගමික සේවාවක් සිදු කරන මුරුත්තෙට්ටුවේ නායක හිමියන් මේ වෘත්තීය සමිති ව්‍යාපාරයට එක් වී වසර පනහක් රටේ හෙද සේවයට නායකත්වය දෙමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් පුළුල් ජාතික මෙහෙවරක් ඉටු කරනවා. රජයත්, පෞද්ගලිකව මමත් ඒ පිළිබඳ උන් වහන්සේට ආශිර්වාදය පිරිනමනවා. උන් වහන්සේ නායකත්වය දුන් අවස්ථා සම්බන්ධයෙන් පිළිගැනීමේ කතාවේ දී කියැවුණා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ තිබුණු පසුබිම පිළිබඳවත් ප්‍රකාශ කළා. මුරුත්තෙට්ටුවේ හිමියන් සමඟින් රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට විහාරස්ථානයේ සිදු කළ සාකච්ඡා, කතිකා හා සංවිධාන කටයුතු පිළිබඳ අතීතය සිහිගන්වමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කතා කළා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළට විරුද්ධව ඔබ වහන්සේගේ විහාරස්ථානයේ දී එවකට දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති, විවිධ සංවිධාන ගෙන ගිය සටන් සඳහා සාකච්ඡා කිරීමට මමත් නාරහේන්පිට අභයාරාමයට පැමිණියා. මට රාජිත සේනාරත්න මහතා මුලින්ම හමු වුණේ මුරුත්තෙට්ටුවේ හිමියන් සමඟ සාකච්ඡාවට ගිය අවස්ථාවක දී. අනාගතයේ දිනක මම ජනාධිපති වී මගේ ඇමැති මණ්ඩලයේ සෞඛ්‍ය ඇමැති ලෙස රාජිත සේනාරත්න ඇමැතිවරයා පත් කර ගනීවි යැයි එදා මම සිහිනෙකින් හෝ සිතුවේ නෑ. කාලයේ හා දෛවයේ ඉරණම සමඟින් ඒ පරිවර්තන සිදු වෙලා තිබෙනවා.
අපි නියෝජනය කරන සියලූ ක්ෂේත්රවල තිබෙන ගුණාත්මකභාවය වර්ධනය කර මේ රටේ පොදු මහ ජනතාවට අවශ්‍ය සේවා ලබාදීම අද නිදහස් රටක ජීවත්වෙන මිනිසුන් ලෙස ඔබ අපි කාගේත් වගකීමක්. මම සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පස් වසරක් කටයුතු කළා. එම කාලය පිළිබඳව මම ඉතාමත් තෘප්තිමත්භාවයට පත් වෙනවා. රටවල් 36ක නියෝජිතයන් සහභාගී වූ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී සමුළුවක් මීට සති දෙකකට පෙරාතුව මහනුවර දී පැවතුණා. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් දුම්කොළ විරෝධී අන්තර්ජාතික වැඩපිළිවෙළේ වැඩමුළුවක් ඉන්දියාවේ දී මීට සතියකට පෙරාතුව පැවතුණා. ප්‍රධාන දේශනයට ආරාධනා ලැබී තිබුණේ මටයි.
මත්ද්‍රව්‍ය හා දුම්කොළවලට එරෙහිව මම එම දේශනය පැවැත්වුවා. ඊට රාජිත සේනාරත්න ඇමැතිවරයා ද එක් වුණා. මහනුවර පැවැති සමුළුවේ දී ද මම කතා කළා. ජාත්‍යන්තර වශයෙන් මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයට අවශ්‍ය නායකත්වය දෙන්නැයි කියා ඉන් අනතුරුව මට ආරාධනා ගලා එනවා. මේ යුගයේ රාජ්‍ය නායකයන් දෙදෙනෙක් පිළිබඳව ජාත්‍යන්තරයේ සඳහන් කරනවා. තමාගේ රටෙන් බැහැරව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී සමුළුට උරුගුවේ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වන මා හට එහි දී ආරාධනා ලැබුණා. ඒ ගෞරවය මා හට ලැබුණු පෞද්ගලික ගෞවරයක් නොවෙයි. ඒ ගෞරවය රටට ලැබුණු ගෞරවයක්. සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පස් වසරක් මා සිදු කළ ක්‍රියා කලාපය හා ලබා ගත් තීන්දු තීරණ අනුව මට එසේ ජාත්‍යන්තර ඇරයුම් ලැබුණා.
අවුරුදු 26ක් අඛණ්ඩව පාර්ලිමේන්තුවේ හිදිමින් ඉන් අවුරුදු 18ක් ඇමැතිකම් දැරූ කෙනකු ලෙස විශේෂයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලය මගේ දේශපාලන ජීවිතයේ වැදගත් කාල පරිච්ජේදයක්. ඒ කාලයේ ගත් තීන්දු සහ මගේ ක්‍රියා කලාපයෙන් මේ රටේ ජනතාව මාව එතැනින් ඉහළට ඔසවා තබා රටේ ජනාධිපති ධූරයට පත් කළා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ වාර්ෂික සමුළුවට මම අමුත්තෙක් නොවෙයි. අපේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ එහි ගුණාත්මකභාවය වර්ධන කිරීමේ දී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කරන්නට රජයක් ලෙස ගන්නා ප්‍රතිපත්ති, තීන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් ඔබ සෑම කෙනෙක්ම හෙද සේවය වෙනුවෙන් කරන කැප කිරීම මම අගය කරනවා.
ඔබේ පෞද්ගලික ජීවිතයේ තිබෙන ඇතැම් දුෂ්කරතාන්, පවුලේ තිබෙන නොයෙකුත් ප්‍රශ්න, ආර්ථික අසීරුතා, දරුවන්ගේ ප්‍රශ්න ආදී සියල්ල සමඟ ඔබ සැම සිදු කරන්නේ පහසු කාර්යයක් නොවන බව මම දන්නවා. නමුත් ඒ සියලූ ප්‍රශ්න ඔළුවෙන් ඉවත් කර ඔබ රෝගීන් වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් දැඩි ලෙස පරිත්යාගශිලීව කටයුතු කරනවා. ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ඉතාමත් ගෞරවයකට පාත්‍ර වී තිබෙන සේවාවක් ලෙස හෙද සේවය හැඳින්විය හැකියි. රටේ සතර දිග්භාගයේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ කටයුතු කරන ඔබට රජයේ මෙන්ම ජාතියේ ගෞරවය හිමි වෙනවා. ඒ නිසා අපි රාජ්‍ය ප්රතිපත්තිවල, රාජ්‍ය සේවාවල සිටින සෑම කෙනකුටම අවශ්‍ය වෘත්තීය පහසුකම්, වරප්‍රසාද හැකි උපරිම ලෙස ලබාදීමත්, ක්‍රියාකාරී සැලසුම්වල නිදහස් සෞඛ්‍ය සේවාව තව තවත් ශක්තිමත් කිරීමත් අපේ රජයේ ප්‍රතිපත්තිය බව කිව යුතුයි.
නිදහස භුක්ති විඳීමට හැකියාවක් සහ අවබෝධයක් නැති ඇතැම් පිරිස් මේ නිදහස වැරැදි ලෙස භාවිත කරනවා. මේ රටේ ඕන අයකුට පෙළපාලි යන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. නිදහසේ ලියන්න පුළුවන්. මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය වගේම අන්තර්ජාලයෙන් කොතෙක් දුරට නිදහස භාවිත කරනවාද කියා ඔබ දකිනවා. සැබෑ අර්ථයට එහා උපරිම නිදහස භාවිත කරනවා. එම නිදහස දෙන්නේ යහපත් මිනිසුන්ටයි. රටක නිදහස සහ අයිතිවාසිකම් දෙන්නේ ඒ රටේ උගත්, බුද්ධිමත් පොදු මහ ජනතාවටයි. ඒ හැර පටු දේශපාලන වුවමනා, ජාතිවාදය, ආගම්වාදය, සංස්කෘතික, කුල, ගෝත්‍ර ප්‍රශ්න මුල් කරගෙන නිදහස භාවිත කිරීම රටේ ඉදිරි ගමනට කිසිසේත් යහපත් වන්නේ නෑ.
අපි ශක්තිමත් රජයක්. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ මේ රටේ වගකීම් ඉටු කිරීමේ දී නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, කෘෂිකර්මාන්තය, දේශීය කර්මාන්ත සියල්ල ශක්තිමත් කරමින් අපේ වගකීම් සහ යුතුකම් ඉටු කරනවා. මා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු අභියෝගාත්මක වූ සෞඛ්‍ය සේවයේ කළ යුතු ප්‍රධාන කාර්යයන් කිහිපයක් ඉටු කළ බව ඔබ දන්නවා. ඖෂධ පනතෙන් බලාපොරොත්තු වූ අරමුණු පෙරදැරි කරගෙන අපි ඖෂධ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි ප්‍රතිඵල රටේ ජනතාව භුක්ති විඳින බව කිව යුතුයි. ඖෂධ පනත පිළිබඳව අවුරුදු 40ක් 50ක් මේ රටේ කතා කළා. නමුත් ඒ පනත පාර්ලිමේන්තුවට ආවේ නෑ.
ඒ පිළිබඳව අවශ්‍ය නීතිරීති පාර්ලිමේන්තුවේ සම්මත කරමින් ඖෂධ පනත ගිය අවුරුද්දේ සම්මත කරගැනීමට අපිට හැකි වුණා. එයින් අද වන විට ඖෂධ රාශියක මිල අඩු කොට ගුණාත්මක ඖෂධ පමණක් වෙළෙඳපොළට නිකුත් කිරිමටත්, ඒවා රෝහල්වල භාවිත කිරීමට අවශ්‍ය නීතිරීති සැකසීමටත් අපිට හැකි වුණා. එම අභියෝගය ජයගැනීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මම සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි සමයේ විශාල ප්රයත්නයක් ගත්තා. සිගරැට් පැකට්ටුවේ සෞඛ්‍ය අවවාදාත්මක රූපමය අවවාද සියයට අසූවක් එක් කිරීමේ අවශ්‍යතාවක් ඇති වුණා. නමුත් ඒ වෙනුවෙන් මට උසාවි යෑමට සිදු වුණා. රූපමය අවවාද සියයට හැටක් කළ යුතු බවට අධිකරණයෙන් තීන්දුවක් ලැබුණා. නමුත් මම ජනාධිපති ධූරයට පත් වී සෞඛ්‍ය ඇමතිවරයා සමඟින් සාකච්ඡා කර, පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර සිගරැට් පැකට්ටුවේ රූපමය අවවාද සියයට අසූව දක්වා ඉහළ නංවාගැනීමට අපිට හැකියාව ලැබුණා. මහ ජනතාව අපි කෙරෙහි තැබූ විශ්වාසය සහ බලාපොරොත්තු ඉටු කරමින් අපි පියවරින් පියවර ඉදිරියට යනවා. සමහර වෙලාවට ක්ෂණික විසැඳුම් වගේම කෙටි කාලීන විසැඳුම් ඇතැම් අය බලාපොරොත්තු වෙනවා. නමුත් ක්ෂණික විසැඳුම් දෙන්න පුළුවන්කමක් නෑ.
කැපවීම, පරිත්‍යාගශීලීභාවය, තිබෙන නීතිරීති, කරන කටයුතුවල ගුණාත්මකභාවය සමඟින් අපිට රට ගොඩනැඟීමට සිදුව තිබෙනවා. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ ඔබ කරන විශිෂ්ට වගකීම් සහ යුතුකම් පිළිබඳ මම ඔබ සැමට මගේ ගෞරවය පුද කරනවා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ 47 වැනි වාර්ෂික සමුළුවේ දී ඔබ වෘත්තීය සමිතියක් ලෙස ඔබේ සේවක වගකීම්, අයිතිවාසිකම්, වරප්‍රසාද මෙන්ම මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට සිදු කරන කැපකිරීම, මෙහෙවර සහ පරිත්‍යාගය සියලූ ආකාරයෙන් සාර්ථක වේවායා ප්‍රාර්ථනා කරනවා.”
සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා
“රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සංවත්සරය අද පැවැත්වෙනවා. මේ සංවත්සරයට මම එක් යුගයක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිති නායකයෙක් ලෙස සහභාගී වුණා. තවත් විටෙක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස එක් වුණා. තවත් කාලයක ඇමැතිවරයකු ලෙස එක් වුණා. පසුගිය වසරේ සිට සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස එක් වෙනවා. සෑම වසරක මේ සඳහා එක් වුණා.
මන්ද යත් මේ මුරුත්තෙට්ටුවේ හිමියන්ටත් මටත් දීර්ඝ කාලීන ඉතිහාසයක් තිබෙනවා. ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධූරය දරන සමයේ අපි දෙන්නා එකට එක්ව එම මර්දනයට, දුෂණයට එරෙහිව කටයුතු කළා. එදා මාස තුනක් හෙදියන්ගේ වර්ජනයක් පැවතුණා. එම සමයේ මම විහාරස්ථානයේ නැවතී ඊට දායකත්වය දුන්නා. ඒ සම්බන්ධයෙන් නායක හිමියන් සෑම තීන්දුවක්ම ගත්තේ මා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව. මුරුත්තෙට්ටුවේ නායක හිමි, මාදුළුවාවේ සෝභිත හිමි සහ මම එකට එක් වී එදා තීන්දු ගත්තා. එවකට පැවැති ආණ්ඩුව ගන්නා තීන්දුවලට එරෙහිව අපි නැඟී සිටියා. සෑම විටම අපි එකට එක් වී කටයුතු කළා.
දැන් අපේ රජය බලයට පත් වී තිබෙනවා. අපේ රටේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ජනාධිපති ධූරයට පත් වී සිටිනවා. මම සෞඛ්‍ය ඇමැතිවරයා වී සිටිනවා. දැන් ආනන්ද හාමුරුවන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් මේ කැබිනට් එකේ ෆවුසි ඇමැතිවරයා, ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා, නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා ඇතුළු එදා සිටි සෑම කෙනෙක්ම අද සිටිනවා. මෙවැනි කැබිනට් එකක් මෙතෙක් බිහි වී නෑ. ඒ නිසා මුරුත්තෙට්ටුවේ හිමියන්ට ඉවතට යන්න බෑ. අපි සමඟින් එක් වී කටයුතු කිරීමට කාලය පැමිණ තිබෙනවා.
ජනාධිපතිවරයා සිය බලතල ඉවත් කරන්න ක්‍රියා කළ ඉතිහාස ගත වන නායකයෙක්. ඒ මහතා දින දෙකක් පාර්ලිමේන්තුවේ ප්ලේන්ටි බිබී තම බලය අඩු කිරීමට කටයුතු කළා. ඉතිරි බලතල ලබා දී ජනාධිපති ධූරය අහෝසි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා . ඒ ඔබ වහන්සේ සහ මම අපේක්ෂා කළ දේශපාලන සංස්කෘතිය අද ඇති වෙමින් තිබෙනවා. එය ආදර්ශයක්. අපි පිකටින් කළාද, පදික වේදිකාවේ වාඩි වී සිටියාද නෑ. පෙළපාලි ගියාද. පොලීසිය සමඟ ගහ ගත්තාද නෑ. මම දැන් මේ වැඩපිළිවෙළ සමඟින් සිටිනවා. ඔබ වහන්සේත් මේ වැඩපිළිවෙළ සමඟ සිටිය යුතුයි නේද. කොයි මොහොතේ වෙඩි කනවාද, පහර කෑමට ලක්වෙනවාද කියා නොදන්නා යුගයක් අපි පසු කර තිබෙනවා. අද එවැනි තත්ත්වයක් නෑ.
ඔබ වහන්සේයි මම දැන් තරුණ විය පසු කර මැදිවියත් පසු කර තිබෙනවා. අපි හැත්තෑ ගණන්වල සිට සටන් කළා. නමුත් විසි එක් වැනි ශත වර්ෂයේ හෝ අපිට අපේ ප්‍රාර්ථනා ඉටු කිරිමට ආණ්ඩුවක් ලැබුණේ නෑ. නමුත් දැන් ආණ්ඩුවක් අපිට ලැබී තිබෙනවා. ආණ්ඩුව තියෙද්දී හාමුදුරුවන්ට වෙන වෙන තැන්වල යන්න බෑ. හාමුදුරුවෝ ඉන්න ඕනෑ අපිත් එක්කයි. අපේ ජනාධිපතිවරයා සමඟ තිබෙන වැඩපිළිවෙළ කුමක්ද, තිබෙන බාධා කවරේද ආදී කතා කරමින් ජය ගත යුතු කරුණුවල දී ජනාධිපතිවරයා සමඟින් කුඩාපොළ හාමුදුරුවෝ වගේ ඉදිරියෙන් යා යුත්තේ ඔබ වහන්සේයි. හිටපු ජනාධිපතිවරුන් පස්සේ හති දා ගෙන ගිහින් හරියන්නේ නෑ. කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. මුරුත්තෙට්ටුවේ ආනන්ද කියන නාමයට ඔබ වහන්සේට මම ආදරෙයි. ඔබ වහන්සේ සිදු කළ කැපවීම මට අමතක නෑ. අපිට කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. එම කීර්තිමත් ඉතිහාසය සවුත්තු කරගැනීමට ඉඩ දෙන්න බෑ. මුරුත්තෙට්ටුවේ නාමය කුඩාපොළ හිමියන් මෙන් කීර්තිමත් නාමයක් බවට පත් කරගැනීමට කැප වෙන්නැයි මම ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේ දැන් අපි සමඟින් එක් වී එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු. ඔබ වහන්සේගේ කීර්ති නාමය ආරක්ෂා කරමින් අපේ සටන අපි මෙහෙයවමු. ඔබ වහන්සේගේ කීර්තිමත් ඉතිහාසය, කීර්තිමත් වර්තමානය, කීර්තිමත් අනාගතය දක්වා ගෙන යෑමට හැකි වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.”
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
“මේ සංගමය ස්ථාපිත කර දැන් අවුරුදු 41ක් සම්පූර්ණ වෙනවා. හෙදියන් දහතුන් දෙනකුගෙන් මෙය ආරම්භ කළා. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මේ සංගමය ව්‍යාප්ත කිරීමට අනුපමේය සහායක් ලබා දුන් මගේ කල්‍යාණ මිත්‍රයෙක් බව කිව හැකියි. මේ සංවත්සරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කිරීමට විධායක මණ්ඩලය තීන්දු කළා. ඒ අනුව මම දුරකතන ඇමතුමක් ලබා දී 47 වැනි සංවත්සරය පිළිබඳ දැනුම් දුන්නා. ඒ මහතා මගේ ආරාධනාව පිළි ගත්තා. මේ රටේ බිහි වූ සියලු රාජ්‍ය නායකයන් සමඟ අපි කටයුතු කර තිබෙනවා. ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟත් අපි කටයුතු කර තිබෙනවා. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා මූලස්ථානය ඉදි කරගැනීමට ඉඩමක් ලබා දුන්නා. විජේතුංග ජනාධිපතිවරයා අපිට සහාය දුන්නා. හෙද අධ්‍යාපන සඳහා විශ්වවිද්‍යාලයක් අවශ්‍ය බවට වූ යෝජනාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පිළිගෙන ඒ වෙනුවෙන් කටයුතු කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් අපිට හොඳ සහායක් ලැබෙනවා.
හෙදියක් රෝගියකුට ලබා දෙන සාත්තුව යුතුකමක් බව කිව යුතුයි. විධායක බලය මේ රටට අවශ්‍ය නෑ. එයා කියන දේ අසා මම කියන දේ කරන්න කියා මම කියන්නේ නෑ. ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ මේ රට ගොඩනඟනු ඇතැයි මම විශ්වාස කරනවා. සෞඛ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ වෛද්‍ය පාලිත මහීපාල මහතාට මම මේ උත්සවයට ආරාධනා කළා. ඒ මහතා පැමිණ නෑ. ඒ මහතාට වැඩ තේරෙන්නේ නෑ. වැඩ කරන්නේත් නෑ. අවශ්‍ය තීන්දු ගන්න හයියක් ඒ මහතාට නෑ. ඔහු රූකඩයක්. කේලම් කීම කෙටවිල්ල නොවෙයි වැදගත් කියා මම කියනවා. මම කෙලින් කතා කරන කෙනෙක්. ඒ මහතා හෙදියන්ගේ සුළු ප්‍රශ්නයක් දින දහයක් ඇදගෙන ගියා. අවසානයේ ඇමැතිවරයා මැදිහත් වී එම ප්රශ්නය විසැඳීමට පියවර ගත්තා. දුර්වල පාලිත මහීපාල ඔට්ටුපාල වගේ අදිනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වැනි හොඳ පාලකයෙක් දණ ගැස්සුවා නම් අපිට කරන්න බැරි දෙයක් නෑ.”
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සහ ප්‍රාථමික හෙද විදුහලේ විදුහල්පතිනී අශෝකා අබේනායක මහත්මිය ද මෙහි දී අදහස් දැක්වූහ.
මහා සංඝරත්නය, ඇමැති ජෝන් සෙනෙවිරත්න, රාජ්‍ය ඇමැති ඒ. එච්. එම්. ෆවුසි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, කොළඹ මහ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරු ද, වෛද්‍යවරු ද, ආරාධිතයෝ ද, හෙදියන් ඇතුළු විශාල පිරිසක ද මේ අවස්ථාවට එක්වී සිටියහ.
උදේශ් ගුණරත්න – ජනාධිපති මාධ්‍ය අංශය