Saturday, November 16, 2024

පත්වීම් 4කට දෙකෝටියක වැටුප් ‍ගෙවලා

මධ්‍යම ගමනාගමන මණ්ඩලය පාඩු පිට පාඩු ලබද් දී ඒ පිළිබඳ මායිම් නොකර මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව හිතුමතේට පත්වීම් හතරක් 2012 දී සිදු කර එම පත්වීම්ලාභීන්ට රුපියල් දෙකෝටියකට ආසන්න වැටුප් සෙසු දීමනා සහ ඉන්ධන දීමනා ලබා දී තිබෙන්නේ මණ්ඩලයේ බස් රථවලින් දිනපතා උපයා ගන්නා ආදායමින් බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ චමින්ද අතුකෝරල මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ ප්‍රකාශ කළේය.

වසර පහක කාලයක් තුළ දී මේසා විශාල මුදල් ප්‍රමාණයක් ගෙවා තිබෙන්නේ පොදු ජනතාවගේ බස් ගාස්තුවෙන් බව ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ අතුකෝරල මහතා පුරප්පාඩු නොමැතිව නැති තනතුරු ඇති කරමින් පත්වීම් සිදු කර තිබෙන බව පැවැසීය. එවකට හිටපු සභාපතිවරුන් දෙදෙනකු වන දොන් බන්දුසේන සහ ශෂී දිලුම් වෙල්ගම මහත්වරුන් මේ පත්වීම් සිදු කිරීමට සෘජුවම වගකිව යුතු බව විමර්ශනවල දී හෙළි වී තිබෙන බවත් ඒ මහතා කොමිසම ඉදිරියේ ප්‍රකාශ කළේය.

වසර පහක කාලසීමාවක් තුළ දී මේ සිවුදෙනාට වාහන සහ ඉන්ධන දීමනා හැර වැය කර තිබෙන සමස්ත වියදම රුපියල් කෝටියකට අධික බවත් පැවැසූ ජ්‍යෙෂ්ඨ නීතිඥ අතුකෝරල මහතා මාධ්‍ය ප්‍රධානි චරිත නාමල් රුබේරූ, මාධ්‍ය සහකාර සරත් විමලානන්ද, සභාපති පෞද්ගලික ලේකම් බන්දුල සරත් කුමාර, ප්‍රවාහන නිලධාරී ලලිත් රණසිංහ නැමැත්තවුන්ට මේ ගෙවීම් සිදු කර තිබෙන බවත් ප්‍රකාශ කළේය.

පොලිස් පරීක්ෂක රූපසිංහ මහතාගේ අධීක්ෂණයෙන් සැරයන් අරුණශාන්ත මහතා සිදු කළ විමර්ශනයේ දී ලිඛිත සාක්ෂි සමඟ සියලු කාරණා හෙළිදරවු කරගෙන තිබෙන බව ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පැවසුවේ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ සභාපතිත්වයෙන් මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, පියසේන රණසිංහ, ගිහාන් කුලතුංග මහත්වරු සහ විශ්‍රාමලත් විගණකාධිපති පී. ඒ. පේමතිලක මහතාගෙන් හෙබි ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේදීය. මේ අවස්ථාවට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ද සහභාගී විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles