Friday, November 15, 2024

පරිසර අටුවාව

විදුලි බල ජලාශවල තවමත් පවතින ජල හිඟය නිසා ජල විදුලිය නිපදවිය හැක්කේ මෙරට මුළු විදුලි බල ඉල්ලුමෙන් සියයට 11 ක් පමණි. මේ නිසා වැඩි මිලට පෞද්ගලික අංශයකින් විදුලිය මිලදී ගැනීමට මණ්ඩලයට සිදුවී තිබේ. රටේ ඉල්ලීම සපිරීමට තාප විදුලිය 85% ක් පමණ උපයෝගි කරගනී.

ඒත් මේ වියදම අඩු කිරීමට කදිම විසඳුමක් ලබාදීමට විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට කදිම යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇත. ඒ අපේ රට වටේම ඇති රළ බලයෙන් විදුලිය නිපදවීම හා රටේ වෙනත් බෝග වැවීමට අපහසු තැන්වල ගිනිසිරියා වවා ජෛව ඉන්ධන මගින් අපේ රටට අවශ්‍ය බල ශක්තියෙන් සියයට 50 ක් වුව නිපදවා ගැනීමේ වැඩපිළිවෙළයි.

ගිනිසීරියා වැවීමේ වැඩපිළිවෙළ යටතේ මුලින් ම නියමු ව්‍යාපෘතියක් ලෙස ගිනිසීරියා ශාකය ජීව ඉන්ධනයක් ලෙස අක්කර 2000 ක් වගා කිරීමේ අලුත් වැඩසටහනක් දැන් ක්‍රියාවට නංවා තිබේ.

ඒ අනුව ගිනිසීරියා ඉන්ධනයක් ලෙස ගෙවතු වගාවට හඳුන්වාදීමේ වැඩසටහනක් සූදානම් බව ද විදුලිබල හා බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කිසිම පරිසර හානියක් නොමැතිව ගිනිසීරියා වැනි ජෛව ස්කන්ධ ඉන්ධන භාවිතයෙන් රටේ බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 50ක් සැපයිය හැකි බව ද ඇමැතිවරයා පවසයි.

ඒ අනුව ජලය මඟින් විදුලිය නිපැයුම නියඟය නිසා අඩු වූ විට ජෛව ඉන්ධන විදුලිය ලබාදීමට හැකි බව ද විදුලි බල ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

පසුගියදා විදුලිබල ඇමැතිවරයා ප්‍රකාශ කළේ අපේ රටේ වටේම ඇති මහ මුහුදේ ජලයෙන් ම උදම් රළ බල විදුලිය නිපදවීමට අපේක්ෂා කරන බවයි. ඒ සඳහා පින්ලන්තය උදව් කරන බවත් ඇමැතිවරයා පවසා ඇත.‍

මීට වසර ගණනාවකට පෙර ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ ආයතනයේ (නාරා) සමුද්‍ර ජීව විද්‍යාඥ ආචාර්ය කමල් තෙන්නකෝන් මහතා මෙරට රළ බල විදුලිය පිළිබඳව ප‍ූර්ණ කාලීන ගවේෂණවල නිරත විය. ඔහුගේ පර්යේෂණ අනුව රළ බල විදුලිය නිපදවීමට අපේ රටේ හොඳම තැන වූයේ උණවටුන මුහුදු තීරුවයි.‍ එහෙත් ඒ පර්යේෂණවලට සිදුවූයේ කුමක්ද?

විදුලිය පිරිමැසීම අද කාලීන අවශ්‍යතාවකි. නමුත් අද එය නිසි පරිදි සිදු කරන්නේ නැත. පළාත් පාලන ආයතනවලට මේ පිළිබඳව හැඟීමක් නැත්දැයි අපිට සිතන්න සිදුවී ඇත.

කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඇතුළත හා අවට සවස 6 සිට අලුයම හය වන තෙක් විදුලි බල්බ 300 කට වඩා දැල්වෙන බව දැක ගන්නට ඇත. කොළඹ නගරය ලස්සන කිරීමට මේ විදුලි බල්බ සවිකරන්නට ඇත. ඒත් ඒවා පැය 12 ක් ම දැල්විය යුතු ද? තවත් මේ වැනි නාගරික උද්‍යානවල රාත්‍රිය පුර‍ා දැල්වෙන විදුලි බල්බ දහස් ගණනක් ඇත.

ඒ පිළිබඳව සොයා බැලීමට කොළඹ මහ නගර සභාවේ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් අවධානය යොමු කරන්නේ නැත.

මේ අතර ඉදිරියේදී තවත් මසක් පමණ කාලයක වැසි අඩු කාල සීමාවක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව තවම නියඟය අවසන් යැයි සතුටු වීමට අපට නොහැකි ය.

‍ඒ අනුව ජලය පිරිමැසීමට නවීන විද්‍යාත්මක ක්‍රම ජෛව පාරම්පරික ජල සංරක්ෂණ ක්‍රම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු කාලය දැන් එළඹ ති‍ෙබ්. වැසි ජලය එකතු කිරීම, මෙන් ම ජල විදුලිය වෙනුවට සුළං, හිරු එළිය හා ජීව ඉන්ධන විදුලිය පිළිබඳව අවධානය යොමු කිරීම හා ඉපැරණි වැව් ටික රැක ගැනීම ඒ අතර සුවිශේෂ කරුණු වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ උපදේශක ආචාර්ය ඩබ්.ඒ. ධර්මසේන මහතා පවසන්නේ මෙරට වියළි කලාපයේ වැව තරම් නියඟය පිටු දැකින තවත් පරිසර කලාපයක් අපේ රටේ නැති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නියඟය හා ජල ගැලීම් වැනි ස්වභාවික උවදුරුවල අවදානම අඩු කර පරිසරය සංරක්ෂණය කිරීම විදහා දැක්වීම සඳහා ඇති හොඳම උදාහරණය ලෙස වියළි කලාපය පු‍රා ව්‍යාප්ත වූ වැවයි ගමයි ඉඩම් භාවිත ක්‍රමය පෙන්වා දිය හැකි බව ආචාර්ය ධර්මසේන පවසයි.

කෙසේ වුවත් ඈත අතීතයේ තිබු වැව් වල නියඟ කාලයට වුවත් යම් ජල මට්ටමක් ඉතිරිව තිබිණි‍. ඒ ඒ වැව අවට තිබූ පාරිසරික පද්ධතිය නිසා ය. ගස් ගොම්මන, පෙරහන, ඉස්වැටිය, ගොඩවල, මඩකලුව, තිස්බඹේ, කට්ටකඩුව ලෙස අතීතයේ හැඳින්වූ ඒ පාරිසරික පද්ධති අද අපේ ගම්වල වැව්වල ඇත්තේ ඉතාමත් ම සුළු වශයෙන් ය. සමස්ත ලෙස ගත්විට මේ සියලු පරිසර පද්ධති සියල්ල තිබෙන වැව් එකක්වත් අපේ රටේ නැතැයි ඒ පිළිබඳව වසර ගණනාවක් පර්යේෂණ කළ ධර්මසේන මහතා පවසයි.

මේ අතර ධර්මසේන මහතා අවධාරණය කරන්නේ මෙවැනි නියං සමයට ඔරොත්තු දීමට වැසි ජල සංරක්ෂණය අත්‍යවශ්‍ය බවයි. අතීතයේ සීගිරිය හා පිදුරංගල ආශ්‍රිතව වැසි ජල සංරක්ෂණය ඉතා ඉහළ මට්ටමක තිබ‍ූ බවත් පිදුරංගල එකතුවූ වැසි ජලය පිදුරංගල හා සීගිරිය අතර තිබූ මැටි බට ඔස්සේ සීගිරිය උඩට ගෙන ගොස් ඇති බව ද ආචාර්ය ධර්මසේන කළ ගවේෂණ අනුව පැහැදිලි වී ඇත. මේ අනුව මේ වැසි ජලය එකතු කිරීමට පර්වත යොදා ගැනීමට හැකියාව තිබෙන බව ද පිදුරංගල ඊට හොඳ උදාහරණයක් බව ද ආචාර්ය ධර්මසේන පෙන්වා දෙයි.

ඒ අනුව මෙවැනි නියඟයකට ඔරොත්තු දීමට නම් අපේ වියළි කලාපයේ වැව්වල පාරිසරික තත්ත්වය තවදුරටත් දියුණු කළ යුතු ය.

සමස්ත ලෙස ගත්විට නියඟය තවත් දිගට ගියහොත් ඊට මුහුණ දීමට ජනාධිපතිතුමා පත් කළ කාර්යසාධක බළකාය කාලීන හා කාර්යක්ෂම පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

කෙසේ වුවත් ඒ පියවර සාර්ථක වීමට නම් පොදු ජනතාව සියලු දෙනා ඊට හැඟීමකින් යුක්තව සහාය දිය යුතු ය. සියලු බේද පසෙකලා ඊට සහාය දුන්නොත් මේ ව්‍යසනයේ ආදීනව අපටම අවම කර ගත හැකි වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles