Sunday, December 22, 2024

පලතුරු වගාව සංවර්ධනයට ගම්මාන 2000ක්

ශ්‍රී ලංකාව තුළ පලතුරු වගාව සංවර්ධනය කරමින් පලතුරු ගම්මාන 2000ක් බිහි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට තිබේ. මේ සදහා මූලික වියදම් පියවා ගැනීම පිණිස රු. මි 150ක ප්‍රතිපාදන වෙන් කොට දී ඇතැයි කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා දිනමිණට පැවසීය. මේ අතර, මේ වැඩපිළිවෙළ සමගාමීව අනුරාධපුරය දිස්ත්‍රික්ක කීපයක ගුණාත්මකභාවයෙන් සපිරි අඹ නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති පසු අස්වනු තාක්ෂණ ආයතනයේ මෙහෙයවීමෙන් දියත් කොට තිබේ. මේ වැඩපිළිවෙළ යටතේ දැනට අසංවිධානාත්මකව සහ අපිළිවෙළට පවත්වාගෙන යන අඹ වගාව අස්වනු නෙළීම සහ අලෙවිය යන තෙවෙදෑරුම් අංශ නවතම පශු අස්වනු තාක්ෂණ ක්‍රමවේදයන් අනුව නංවාලීමට පියවර ගන්නා ලෙස පසු අස්වනු තාක්ෂණ ආයතනයේ සභාපති කාවින්ද දිසානායක මහතා සදහන් කෙළේය.

මේ වැඩපිළිවෙළ යටතේ ප්‍රථම වතාවට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර ප්‍රෙද්ශයේ ඕමාරගොල්ල ගම්මානයේ අඹ වෙළදාමට සම්බන්ධ පලතුරු එක්රැස් කරන්නන් දායක කර ගනිමින් ඕමාරගොල්ල අඹ යන වෙළදනාමයෙන් හැදින්වෙන ගුණාත්මක සහ රසවත් අඹ වෙළදපොළට ඉදිරිපත් කිරීමේ ව්‍යාපෘතියක් පසු අස්වනු තාක්ෂණ ආයතනය මගින් පසුගිය වසරේ අග භාගයේ දී ආරම්භ කරනු ලැබීය. මේ යටතේ අඹ ඵලදාව එක්රැස් කොට වෙළෙදපොළට යැවීම පිණිස පෙරමුණ ගෙන කටයුතු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ඒකරාශී කොට ඔවුන්ට පසු අස්වනු තාක්ෂණය යොදා ගනිමින් ඉතා හොදින් ඉදවනු ලබන කාලයක් තබාගත හැකි ගුණාත්මක සහ රසවත් අඹ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සදහා අවශ්‍ය දැනුම අවබෝධය සහ මූලික පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇත. මේ යටතේ දැනටමත් දිනකට අඹ කිලෝ 5000ක පමණ ප්‍රමාණයන් “ඕමාරගොල්ල අඹ“ යන වෙළදනාමය යටතේ අලෙවිය පිණිස ඉදිරිපත් කෙරෙන බව පසු අස්වනු තාක්ෂණ ආයතනය පෙන්වා දෙයි.

මේ ව්‍යාපෘතිය යටතේ අඹ ව්‍යාපාරයට සම්බන්ධ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය යන්ත්‍රෝපකරණ, මෙවලම් සහ වෙනත් අව්‍යවශ්‍ය පහසුකම් සලසා දීමට පියවර ගැනේ. ඕමාරගොල්ල ප්‍රෙද්ශවාසීන් අතරින් පිරිසකට අඹ ඉදවන කුටි, අඹ තේරීම සහ ඇසිරීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශනය සහ මූලික පහසුකම් සලසා දී ඇත. අඹ ඇසිරීම සදහා විශේෂයෙන් නිෂ්පාදිත ප්ලාස්ටික් ඇසුරුම් ලබා දීම ද සිදු කෙරේ. මේ අතර ඕමාරගොල්ල ව්‍යාපෘතියේ සාර්ථකත්වය සළකා බලා ඉදිරියේ දී අනුරාධපුර, එප්පාවල ප්‍රෙද්ශය තුළ ද අඹ සංවර්ධන කලාපයක් ආරම්භ කිරීමට පසු අස්වනු තාක්ෂණ ආයතනය විසින් පියවර ගනු ඇත. ඊට අමතරව නොච්චියාගම, මහව, යාපනය, වේයන්ගොඩ, නුවර, ඇඹිලිපිටිය සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි අඹ වගාව බහුල ප්‍රෙද්ශයන්හි අඹ වගාව ආරම්භ කිරීමට සැලසුම් කොට තිබේ. පසු අස්වනු තාක්ෂණය යොදා නොගැනීම නිසා මේ වන විට මෙරට අඹ නිෂ්පාදනයෙන් 40%ක පමණ ප්‍රමාණයක් අකාලයේ විනාශ වී නාස්ති වී යන බව ද අවිධිමත් ක්‍රමෝපායන් භාවිතා කිරීම නිසා අඹ ඉතා ඉක්මණින් නරක් වී අලාභ විදීමට සුළු වෙලදුන්ට සිදුවන බව ද පසු අස්වනු තාක්ෂණ ආයතනය අවධාරණ ය කරයි. අඹ ව්‍යාපෘති සංකල්පය තුළින් අඹ වවන්නා, නිෂ්පාදනය එක්රැස් කරන්නා, ප්‍රවාහනය කරන්නා, තොග වෙළෙන්දා, සිල්ලර වෙළෙන්දා, පලතුරු සකස් කරන්නා සහ පාරිභෝගිකයා යන සියලු අංශවලට සෙත සැලසෙන බව ද ආයතනය පෙන්වා දෙයි.

Email Facebook Twitter Google+ Pinterest PrintFriendly Share

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles