Thursday, September 19, 2024

පළාත් අතර සංචරණ සීමා හෙට සිට අවසන්

අන්තර් පළාත් සංචරණ සීමා ගැන ගත් තීරණය

දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා හෙට එනමි ඔක්තෝම්බර් 31 වන දින අලුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබේ.

නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ ඊයේ (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ය.

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතල ලෙස අඩාල වී ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර සියලු පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලබාදී තිබෙන බව ද මෙහිදී අනාවරණය කෙරුණා.

ඒ පිළිබඳ විදුහල්පතිවරුන් දැණුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

විශ්වවිද්‍යාල පළමු වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ද ඔහු සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

පොදු ස්ථාන, වෙළඳ සැල්, ආපන ශාල ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බැලීමට ද තීරණය වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

එන්නත ලබා නොගන්නා පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව ද සඳහන් කළා.

පාසල් දරුවන් එන්නත්කරණය සඳහා ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතිය ද ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක්ව තිබෙනවා.

කොවිඩ් මරණ අනුපාතය සහ ආසාධිතයින් අඩු කර ගැනීමට එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාවට නැංවිමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදී ඇත්තේ දුෂ්කර ප්‍රදේශවල එන්නත්කරණයට ජංගම රථ යොදවමින් සියලු ජනතාවට එන්නත ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙන ලෙසටයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles