Tuesday, September 24, 2024

පළාත් පාලන ආයතන යහපාලනයේ කේන්ද්‍රස්ථාන වියයුතුයි – ජනාධිපති

පසුගිය දශක කිහිපය තුළ ඇතැම් පළාත් පාලන ආයතනවල දේශපාලනඥයින් දූෂණ, වංචා, අක‍්‍රමිකතා සිදු කරමින් බලය අයුතු ලෙස භාවිතා කිරීම හේතුවෙන් එම දේශපාලන පක්ෂත්, ඔවුන් නියෝජනය කළ රජයත්, ඔවුන්ගේ නායකයිනුත් ජනතා අප‍්‍රසාදයට පත් වූ බව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
විධායක ජනාධිපති ධුරය හැරණු කොට වැඩි විධායක බලයක් හිමිවන පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් සෑම විටම සිය බලය ජනතා යහපත වෙනුවෙන්ම යෙදවිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ ඊයේ (21) පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවති “ස්වර්ණ පුරවර” සම්මාන උළෙල අමතමිනි.

සිය බලය ජනතාවාදී ලෙස යොදවන සෑම දේශපාලනඥයෙක් ම ජනතාවගේ ප‍්‍රසාදයට පත්වන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා සියලු පළාත් පාලන ආයතන යහපාලනයේ කේන්ද්‍රස්ථාන බවට පත්විය යුතු බව ද කියා සිටියේය.

දේශපාලනඥයින්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම වන්නේ ජනතාවගේ ප‍්‍රශ්න සොයා ගොස් ඊට විසඳුම් ලබාදීම බව පැවසූ ජනාධිපතිතුමා සංවර්ධනයේ, පරිපාලනයේ, මූල්‍ය කළමනාකරණයේ සහ සමාජ සුබසාධනයේදී පළාත් පාලන ආයතන සතුව පවතින අසීමිත බලතල තුළ සිය සේවා විශිෂ්ටත්වය පෙන්නුම් කිරීමට සියලු පළාත් පාලන ආයතනවල දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරිනුත් කැපවිය යුතු බව ද කියා සිටියේය.

පළාත් පාලන ආයතන ඇගයීම වෙනුවෙන් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වාර්ෂිකව “ස්වර්ණ පුරවර” සම්මාන උළෙල සංවිධානය කරනු ලබන අතර පළාත් පාලන ආයතන මගින් ජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබාදීම සඳහා එම ආයතන සවිබල ගැන්වීම සහ දිරිමත් කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණයි.

මහ නගර සභා 23ක්, නගර සභා 41ක් සහ ප‍්‍රාදේශීය සභා 271ක් සහිත පළාත් පාලන ආයතන 335ක දුර්වලතා සහ අභියෝග හඳුනාගෙන ඒවා මඟහරවා ගැනීමට මේ තුළින් මග පෙන්වයි.

පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ උත්පාදක ව්‍යාපෘති සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරනු ලබන දේශීය ණය සංවර්ධන අරමුදලේ නිල වෙබ් අඩවිය ද මෙහිදී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, ආණ්ඩුකාරවරුන්, පළාත් අමාත්‍යවරුන්, පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරු, ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම සම්මාන උළෙලට එක්ව සිටියහ.
(news.lk)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles