Wednesday, October 23, 2024

ප්‍රධාන දුම්රිය ස්ථානවලට ටෙලර් මැෂින් 300ක්

දුම්රිය මගීන්ට දෛනිකව සිදු කර ගත යුතුව තිබෙන බැංකු කටයුතු පහසු කිරීමේ අරමුණ ඇතුව ප්‍රධාන දුම්රිය ස්ථාන 100ක මහජන බැංකු ටෙලර් යන්ත්‍ර 300ක් සවි කිරීමට කටයුතු ආරම්භ කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (27) අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී පැවසීය.

මහජන බැංකුව මගින් එම ටෙලර් යන්ත්‍ර සවි කිරීම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

දෛනිකව ලක්ෂ 03 ට ආසන්න මගීන් පිරිසක් දුම්රිය භාවිතා කරමින් තමන්ගේ ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා බවත් විශේෂයෙන් රාජ්‍ය සේවයේ සහ විවිධ පෞද්ගලික ආයතනවලට දෛනිකව රැකියා සඳහා ගමන්ගන්නා විශාල සංඛාවකට මෙම ටෙලර් යන්ත්‍ර සවි කිරීම තුළින් ඔවුන්ට අවශ්‍ය මුදල් තැම්පත් කිරීම් සහ ලබා ගැනීම් දුම්රිය ස්ථානවලින්ම කර ගැනීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ තුළින් ඔවුන්ට දෛනිකව කාලය කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබීම විශාල පහසුවක් වේ.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය මට්ටමන් තිබෙන දුම්රිය ස්ථානවල සිදුවන මුදල් ගනුදෙනුද මෙම ටෙලර් යන්ත්‍ර හරහා ඉදිරියේදී සිදු කර ගැනීමට හැකියාව ලැබෙන බවද මෙහිදී අවධාරණය කළේය. රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව සමඟ මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට හැකි වීම දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාව අතර විශාල විශ්වාසයක් ගොඩනගා ගැනීමට හැකිවන බවද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

විශේෂයෙන් ජනතාව අතර නවීන තාක්ෂණය තුළින් තමන්ගේ දෛනික ගනුදෙනු කටයුතුවලට හුරුකරවීම රජයේ අපේක්ෂාව බවත් මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තබන ලද මෙම පියවර අමාත්‍යවරයා ලෙස අගය කරන බවද පැවසීය.

පළමුවන අදියර යටතේ දුම්රිය ස්ථාන 100 ක ස්ථාපිත කරනු ලබන මෙම ටෙලර් යන්ත්‍ර දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන 300 ක සවි කිරීමට සැලසුම් කර ඇති බව මේ සඳහා විශේෂ ආරක්ෂිත වැඩ පිළිවෙළක්ද දුම්රිය ආරක්ෂක අංශය විසින් සකසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධීකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා  පැවසීය.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී සහ සාමාන්‍යාධීකාරී එන්. වසන්ත කුමාර් යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ මහජන බැංකුවේ නිළධාරීන් පිරිසක්ද සහභාගි වුහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles