Wednesday, October 30, 2024

ප්‍රභාකරන් ඇසුරු කිරීමට නොහැකිවීම දුකක්-එරික් සෝල්හයිම්

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමඟ වැඩි කලක් ගත කිරීමට නොහැකිවීම ගැන තමන් කනස්සල්ලට පත්වන බව නෝර්වේ හිටපු අමාත්‍යවරයකු සහ  සාම නියෝජිත එරික් සොල්හයිම් මහතා පවසයි.

එලෙස ඔහුව ඇසුරු කිරීමට තමන්ට ඉඩ ලැබුනේ නම් ඔහුගේ ආකල්ප වෙනස්කොට බලපෑමක් සිදුකිරීම සඳහා තමාට හැකියාවක් තිබූ බව එරික් සොල්හයිම් මහතා ඉන්දීයාවේ ඩබ්ලිව්.අයි.ඕ.එන් පුවත්සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගීවෙමින් පවසා තිබේ.

ප්‍රභාකරන් සමඟ විශේෂිත සබඳතාවක් ගොඩනගා ගත් බවත් , එසේ වූවත් නෝර්වේ රාජ්‍ය හෝ තමා සාම සාධක මෙහෙවරේදී එක් පාර්ශවයක් ගත් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සොල්හයිම් මහතා මෙම සම්මුඛ සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.

සාම සාධක මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා එවකට ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් නොමැතිවීම තීරණාත්මකව බලපෑ බවද හෙතෙම පවසා තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ළමා සොල්දාදුවන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදවා ගැනීම වැනි යුද අපරාධ සිදුකළ බව පිළිගත් සොල්හයිම් මහතා යුද්ධයෙන් දකුණේ තරුණයන් දහස් සංඛ්‍යාත පිරිසක්ද අහිමි වූ බවත් පවසයි , ඒ අනුව යුද්ධය නිසා දසදහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් මියගිය බව පැවසිය හැකි යැයි සොල්හයිම් මෙහිදී කියා සිටියේය.

සාම මෙහෙවර අසාර්ථකවීම පිළිබඳව නොව එලෙස ශ්‍රී  ලාංකිකයන් මියයාම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වන්නේ යැයි ද හිටපු නොර්වේජියානු සාම නියෝජිතවරයා පෙන්වා දෙයි.

යුරෝපා රටවල කොටි හිතවාදීන්ට වැඩි අනුකම්පාවක් හිමිවන්නේ එම රටවලට මෙම කලාපය පිළිබඳව වැඩි අවබෝධයක් නොමැතිවීම නිසාවෙන් යැයි පෙන්වා දුන් සෝල්හයිම් මහතා වැඩිදුරටත් කියා සිටියේ තමාට ශ්‍රී ලංකාවේ පැවති  යුද්ධයේ පාර්ශවයක් ගැනීමට කිසිදු හේතුවක් නොපැවති බවය.

එසේම ශ්‍රී ලංකාව තමාගේ දෙවැනි නිවහන ලෙස සැලකිය හැකි බවත්, නැවතත්  ලංකාවට පැමිණෙන්නේ නම්, ඒ මෙතෙක් මිතුරුදම් ගොඩනගා ගත් පිරිස් හමුවීමේ අදහසින් බවත් එරික් සොල්හයිම් මහතා එහිදී සඳහන් කර තිබෙන බවද ඉන්දීය ඩබ්ලිව්.අයි.ඕ.එන් පුවත්සේවා වාර්තාවේ සඳහන් වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles