Saturday, January 11, 2025

ප්‍රභූන්ට පරිවාර රථ දීම නවත්තන්න – දයාසිරි

අමාත්‍යවරුන්ට සහ ප්‍රභූ පුද්ගලයන්ට පරිවාර වාහන භාවිතය නතර කිරීමට හැකි නම් එය රටට විශාල සහනයක් බව බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. මෙම අසීරු තත්ත්වය තුළ රටේ යහපත වෙනුවෙන් ඔවුන්ටද විශාල දායකත්වයක් ලබාදිය හැකි බවද හෙතෙම පවසයි.

“ඇමතිවරුන්ගේ හා අමාත්‍යාංශවල වියදම් සම්පූර්ණයෙන්ම කප්පාදු කළා. මේ වසරේ අලුත් වාහන ගන්න, ගොඩනැඟිලි ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ, ගෘහ භාණ්ඩ ගන්නවත් අමාත්‍යාංශවලට මුදල් වෙන් කරලා නැහැ. මේ අර්බුදය ඉදිරි වසරවලදී තවත් දරුණු වේවි. කැපවීම අපගේ උරහිස් මතම ඇති බව අපි තේරුම් ගෙන තියෙනවා. අපට හැකි ඕනෑම දෙයක් කැප කිරීමට අපි සූදානම්” ඔහු පවසයි.

පරිවාර රථ භාවිතය නවත්වන්න කවුරුහරි මැදිහත් වෙනවා නම් ඒක රටට ලොකු සහනයක් වුවත්, තවමත් ආරක්‍ෂක නිලධාරීන් කිහිප දෙනෙකු සිටින පරිවාර රථ මහමඟ යන ප්‍රභූවරුන්ට ආරක්‍ෂාව සපයන අයුරු අපට දැකගන්න තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“මම මීට කලින් කවදාවත් පරිවාර රථ භාවිතා කරලා නැහැ. ආණ්ඩුවට සල්ලි ඉතුරු කරන්න මට කරන්න පුළුවන් දේ මම කරලා තියෙනවා. මම නිසා වෙන වාහනයක තෙල් පුච්චන්න මට අවශ්‍ය නැහැ. මේ හරහා මම අනෙකුත් ඇමැති සගයන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. ආණ්ඩුවේ වියදම් අඩු කරන්න පුළුවන් හැම දේම කරනවා. ජනාධිපතිතුමා මේක ආදර්ශයෙන් පෙන්නලා දීලා තියෙනවා. මම හිතන්නේ හැමෝම එහෙම කරනවා නම් හොඳයි කියලා” යැයි පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles