Wednesday, January 15, 2025

ප්‍රියන්ත කුමාර ඝාතනය පිළිබඳ පාකිස්තාන සෙනට් සභාවෙන් වැරදිකරුවන්ට මරණ දඩුවම නිර්දේශ කරයි

පාකිස්තානයේ පෞද්ගලික ආයතනයක සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක් වු ප්‍රියන්ත කුමාර මහතාගේ මරනය පිළිබඳව පාකිස්තානයේ මේවන විට පරීක්ෂණ පැවැත්වෙනවා.

පාකිස්තානයේ සියල්කොට්හි කර්මාන්ත ශාලාවක කළමණාකරුවෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර මහතාව පහර දී ඝාතනය කිරීමේ ම්ලේච්ඡ හා නිද්දිත ක්‍රියාව හෙළා දකිමින් පාකිස්තාන සෙනෙට් සභාව ඒකමතිකව යෝජනාවක් මේ වනවිට සම්මත කර තිබේ.

අදාළ යෝජනාව සභානායක ෂශාඩ් වසීම් විසින් ඉදිරිපත් කර තිබුණි.

මෙම ප්‍රහාරය තුළින් සමාජයේ පවතින අන්තවාදී කොටස්වල මානසික තත්ත්වය පිළිබිඹු කරන බවත් එමගින් පාකිස්තානයේ ප්‍රතිරූපයට පමණක් නොව ඉස්ලාමීය ප්‍රතිරූපයටද කැළලක් බව අදාළ යෝජනාවේ සඳහන් කර තිබේ.

මෙම ම්ලේච්ඡත්වය ඉස්ලාමයේ ආත්මය, මූළධර්ම, ඉගැන්වීම් හා නියෝග, මුහම්මද් නබිතුමාගේ පිළිවෙත්, සදාචාරය, මානව වටිනාකම්, පාකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතී, සමාජයේ සිරිත් විරිත් සහ සම්මතයන් මුලුමනින්ම උල්ලංඝනය කිරීමක් බව සඳහන් වේ.

ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ ඥාතීන්ට සංවේගය ප්‍රකාශ කිරීමද අදාළ ඝාතනය සම්බන්ධ වැරදිකරුවන්ට ආදර්ශවත්ව තිබෙන දැඩිම ලෙස  දඬුවම් ලබාදෙන ලෙසත් සෙනෙට් සභාව විසින් සම්මත කළ යෝජනාවේ සඳහන් කර තිබේ.

මේ අතර සියල්කොට් ඛේදජනක සිද්ධිය පිළිබඳ විමර්ශන අවසන් අදියරට පැමිණ ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක බාබර් අවන් පවසයි.

සෙනෙට් සභා විවාදයට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් අනාගතය තුළ පාකිස්තානය තුළ ඇතිවීම වැළැක්වීමේ අවශ්‍යතාවක් පවතින බවය.

ඒ සඳහා අවශ්‍ය අපරාධ නීතී සම්බන්ධ සංශෝධන සිදුකිරීමට බලාපොරොත්තු වන බවද බාබර් අවන් ප්‍රකාශ කර තිබේ.

මේ අතර අදාළ සිදුවීමත් සමඟ ජනපතිවරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

එහි දැක්වුනේ එම පුවත අසා තමන් මහත් සංවේගයට පත්වූ බවත් එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයක් බවය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ,

“පාකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස පාකිස්තාන රජයෙන් මම ඉල්ලා සිටිමි.”

“සිදුවීම සැලවූ වහාම ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් අනුව ඔවුන් මේ වනවිට  ක්‍රියාත්මක වෙමින් සිටී.”

“කුමන ස්වභාවයකින් පැමිණිය ද අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය දැඩිව ව්‍යාකූල කරන්නේය. එබැවින් අන්තවාදයට එරෙහිව ලෝකයම එකම අරමුණක සිට ක්‍රියාකළ යුතු බව මෙවැනි සිදුවීම් තුළින් තව තවත් තහවුරු වේ.”

“මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මේ මොහොතේ දැඩි කම්පනයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සමීපතමයන් සමග මමත්, රජයත්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවත් සිටින බව සිහිපත් කරමි.”

මේ අතර පාකිස්තානයේදී අමානුෂික ප්‍රහාරයකට ලක්වී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත විදේශ අමාත්‍යාංශය විසින් ද මීට පෙර මූල්‍ය ප්‍රදානයක් සිදු කරනු ලැබීය.

විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී. එල් පීරිස් මහතා විසින්  ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙත අදාළ ප්‍රදානය සිදු කළේය.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ දරුවන් දෙදෙනාගේ අනාගතය සහ පවුලේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග සාකච්ඡා කරමින් සිටින බවය.

ප්‍රියන්ත කුමාර මහතාගේ සේවායෝජකයාගෙන් සහ පාකිස්තාන රජයෙන් හිමිවන වන්දි මුදල් සහ අනෙකුත් මූල්‍ය ප්‍රතිලාභ නියමිත වේලාවට ලබාදීමට කටයුතු කරන ලෙස තමන් පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටි බවද අමාත්‍යවරයා පවසා ඇත.

ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත අමෙරිකානු ඩොලර් ලක්ෂයක් ලබාදීමට සියල්කොට් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව එකඟවී ඇති බවත් මෙහිදී සඳහන් කර තිබේ.

අදාළ නඩු කටයුතු නිසි පරිදි සිදුවෙන අතර කොළඹ පිහිටි පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස්වරයා ඒ පිළිබඳව දැනුම්දී ඇති බවත් ශ්‍රී ලංකා රජය ඒ පිළිබඳව සමීපව නිරීක්ෂණය කරන බවත් අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී ප්‍රියන්ත කුමාරගේ පවුලේ සාමාජිකයින් වෙත එහිදී ප්‍රකාශ කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles