රට පුරා සිදුවන අපරාධවල යම් පමණක වර්ධනයක් පසුගිය කාලය පුරාම දක්‌නට ලැබිණි. අප ඒ ගැන බොහෝ වාර ගණනක් කතා කර ඇත්තෙමු. අපරාධ වර්ධනයට සාපේක්‍ෂව අපරාධකාරයන්ගේ වර්ධනයක් ද පෙනෙන්නට තිබේ. කොපමණ අත්අඩංගුවට ගත්තත්, පාතාලය මර්දනය වන වගක් පෙනෙන්නටද නැත. පසුගිය 23 වැනිදා එස්.ටී.එෆ්. -පාතාල ගිනි අවි යුද්ධයක් සිදුවූයේද එහි ප්‍රතිඵලයක් ලෙසය. එම සිදුවීම සිදුවූයේ දිවුලපිටියේදීය. ආසන්නතම කාලයකදී මීගමුවේදී ද පාතාල සාමාජිකයන් පිරිසක් සමග මෙවැනිම ගිනි අවි හරඹයක යෙදෙන්නට විශේෂ කාර්ය බළකායට සිදුවිය. වඩාත්ම සුවිශේෂී සිදුවීම වන්නේ දිවුලපිටියේදී ඇතිවූ සිදුවීමෙන් පසු පළාත් සභා මන්ත්‍රීවරයෙකුද අත්අඩංගුවට ගැනීමය. මෙයින් හොඳ හැටි පෙනෙන කාරණය වන්නේ පාතාලය සහ දේශපාලනය අතර ඇති අවියෝජනීය සබඳතාවයි. මේ රට අවුරුදු 2500 ක බෞද්ධ ඉතිහාසයක් ඇති රටක් බව නොදන්නා කෙනෙක් නැත. අන්තවාදියෙකු නොවන අන්‍යාගාමිකයකු වුවද ඒ බව පිළිගනු ඇති බවට සැකයක් නැත. එහෙත් දැන් මේ රට මාසයකට දෙතුන් වතාවක් “ලේ සොලවන්නට” කැමැති රටකි. ප්‍රචණ්‌ඩ රටකි. දැන් මේ වරදට කිසිවෙකුටත් බැණ බැණ සිටීමෙන් ඵලක් නැත. වරද අප අතේය. “පාතාලයක්” නිකංම බිහි වන්නේ නැත. ගිනි අවි සංස්‌කෘතියක් ඉබේ නිර්මාණය වන්නේ නැත. දිවුලපිටියේදී අත්අඩංගුවට ගත් පිරිසෙන් එක් අයෙකු වෙඩි වැදීමෙන් මියගොස් තිබිණි. අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රීවරයාගේ නිවසේ “ආයුධ ගබඩාවක්‌ම” තිබී ඇත. මේවා තමන්ගේ ආරක්‍ෂාව සඳහා යොදාගත් ඒවා නොවන බව පැහැදිලිය.
මෙවැනි සිදුවීමකින් පසු කවර මාධ්‍යයක් වුව එය වාර්තා කරන්නේ “පාතාලයන් අත්අඩංගුවට” ගත් බව කියමිනි. එය සාධාරණය. ගිනි අවි අතින් ගත් කණ්‌ඩායම් නිදහසේ සැරි සරමින් අපරාධයකට සැරසීම හෝ අපරාධයක් කර පලා යැම චිකාගෝ පන්තියේ කතන්දර මිස “චණ්‌ඩියා” චිත්‍රපටයේ දැක්‌වෙන අන්දමේ කතාන්දර නොවේ. එවැන්නන් “පාතාලයන්” යෑයි හඳුන්වනවා හැර වෙන කරන්නට දෙයක්‌ද නැත. විශේෂ කාර්ය බළකාය මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලන්නටත්, පාතාලය මැඩලන්නටත් ඉදිරිපත්වී සිටීම පැසසුම් කටයුතුය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් පාතාල සාමාජිකයන් මැඬලීමට මීටත් වඩා පුළුල් විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවක් ඇති බව අපේ අදහසය. විශේෂ කාර්ය බළකා සෙබළකු, හමුදා සෙබළකු පාර තොටේ දකින විට රටම මිලිටේරිකරණය වනවා යෑයි කී උදවියට මේවා “සුළු දේවල්” විය හැකි නමුත් තත්ත්වය බරපතළ බව සඳහන් කළ යුතුය. පාතාලය යළි හිස එසවීම යනු සමස්‌ත සමාජයම බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දීමකි. පොලිසියට මෙහිදී පැවැරෙන්නේ අතිශය විශාල වූ රාජකාරියකි. පාතාල මර්දනයට පෙරමුණ ගත යුත්තේ පොලිසියයි. පොලිසිය ඉක්‌මනින්ම මහජන විශ්වාසය වර්ධනය කර ගැනීමේ පියවරකට යා යුතු බවද අපි අවධාරණය කරමු. එවිට පාතාලය නැසීමට එතරම් වද විය යුතු නැත.