පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය නිර්දේශ බලධාරීන්ට දෙන්න

0
285

සෞඛ්‍ය අංශ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට බාර දෙනු ලැබ ඇති පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන්ට සෘජුවම යොමු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය.

මෙසේ උපදෙස් දුන්නේ කොවිඩ් කමිටු විශේෂ රැස්වීමේදීය.

මෙම රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.

යුනිසෙෆ් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මෙන්ම මෙරට ළමා රෝග විශේෂඥයන්ද පාසල් විවෘත කිරීමට එන්නත්කරණය අවසන් වනතුරු සිටීම අවශ්‍ය නොවන බව පෙන්වාදී ඇතැයි විශේෂඥ වෛද්‍යවරු මෙහිදී පැවැසූහ.

දරුවන්ගේ අධ්‍යාපනය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා කඩිනමින් පාසල් සහ පෙර පාසල් යළි විවෘත කළ යුතු බවත් නිසි සෞඛ්‍ය නිර්දේශ යටතේ ඒ සඳහා කටයුතු කළ යුතු බවත් ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී මවුපියන්ගේ කැපවීම සහ සැලකිලිමත් බව ඉතා වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

පාසල් පවිත්‍රකරණය සහ විෂබීජහරණයේදී පළාත් පාලන ආයතනවල සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සෘජු දායකත්වය ලබා ගැනීමටද තීරණය කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here