Wednesday, January 15, 2025

පාස්කු ප්‍රහාරය නඩුවෙි හිටපු පොලිස්පති පූජිත් නිදහස් කිරීම ගැන තීන්දුව පෙබරවාරි 18 දා

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයට අදාළව නිසි ක්‍රියාමාර්ග නොගෙන වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබූ නඩුවේ විත්තිවාචකයක් කැඳවන්නේ ද නැතිනම් විත්තිවාචකයක් නොකැඳවා නිදහස් කරන්නේ ද යන නියෝගය ලබා දීම සඳහා ලබන පෙබරවාරි 18 වන දින නඩුව කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලයෙන් ඊයේ (ජන. 20) නියෝග කළේ ය.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව ඊයේ කැඳවනු ලැබීය.

නඩුව කැඳවීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් ඊයේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කර සිටියේ ය.

ඒ අනුව, විත්තියේ නඩු විභාගය නොකැඳවා විත්තිකරු නිදහස් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන 18 වන දින ලබා දෙන බව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ ය.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය 2019 අප්‍රෙල් 21 පාස්කු දින බෝම්බ පිපිරීමෙන් සිදු වූ ජිවිත හානි වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම, මරණයට පත් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු නොසලකා හැරීම මෙන් ම එම නිසා මිනී මැරීමේ වරදට වගකිව යුතු බව ද තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මිනී මැරීමට තැත් කිරිමේ වරදවල් යටතේ ද නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙලෙස අධිචෝදනා ගොනු කර තිබිණි.

අදාළ බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒ මත කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රබල නොසලකා හැරීම හා ප්‍රබල පැහැරහැරීම් හේතුකොට ගෙන මෙම සිද්ධිවලට අදාළව විත්තිකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 හා 300 යටතේ මිනී මැරීමට හා මිනී මැරීමට තැත් කිරිමේ වරදට වගකිව යුතුය යන පදනම මත මරණ 275 සිදු කිරීම හා 500 ආසන්න පිරිසකට තුවාල සිදු කර මිනී මැරීමට තැත් කිරිමේ චෝදනාවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා 864 ඉදිරිපත් කර තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles