Monday, November 18, 2024

පා .ම .නාමල් රාජපක්ෂගේ “හෙලෝ කෝප්” සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි සැලකෙන සමාගමක් මඟින් අයථා මුදල් උපයෝගී කරගෙන “හෙලෝකෝප්” සමාගම මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (30) දන්වා සිටියේය.

රුපියල් කෝටි දොළහමාරකට අධික මුදලක් යොදවා මෙම හෙලෝකෝප් සමාගම මිලදීගෙන ඇති අතර එම සමාගම මඟින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවා සැපයීම පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශනයන්ට අදාළව විමර්ශන ප්‍රගතිය අධිකරණයට දන්වමින් එසේ පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු අටදෙනකුගේ නම් හා සමාගම් දෙකක නම් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එම පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද, සැකකරුවන් කවුදැයි විමර්ශනය කරමින් පවතින බවත් කරුණු ඉදිරිපත් කෙරිණි.

සී. එස්. එන්. නාලිකාවට අයත් කාර්යාලයක් වන සුජානි බෝගොල්ලාගම යන අය සිටි යූනියන් පෙදෙසේ කාර්යාලයකින් සැක සහිත ලිපිගොනු 17 ක් සොයාගත් බව ද මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (30) අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට කරුණු වාර්තා කර සිටියේය.

මේ අයථා ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුවී යැයි තොරතුරු ඇත්නම් සැකකරුවන් නම් කර ලබන 28 වැනි දිනට පෙර අධිකරණය හමුවේ චෝදනා ගොනුකරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට දන්වා සිටියේය.

මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන මේ පරීක්ෂණවලට අදාළව සුජානි‍ බෝගොල්ලාගම හා නිත්‍යා සේනානි සමරනායක යන අය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ද මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සේවා සැපයූ හෙලෝකෝප් සමාගම උපයා ගත් ආකාරය හෙළිකළ නොහැකි රුපියල් 125259881.00 ක් යොදවා මිලදීගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බව මූල්‍ය අපරාධ කොට්ඨාසය කරුණු දක්වා ඇත.

අදාළ ගනුදෙනුව කළේ යැයි කියන එන්. ආර්. කන්සල්ටන්ට් සමාගම හා ගවර්ස් කෝපරේටර්ස් සර්විසස් සමාගම පිළිබඳ තොරතුරු බොස්ටන් කැපිටල් ආයතනයේ අබේ ඊරියගොල්ල නමැති අයගේ ප්‍රකාශය අනුව නීතිපතිවරයාට යොමුකළ බවත් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි කටයුතු කරන බවත් පොලිසිය කරුණු දැක්වීය.

සිද්ධිය සම්බන්ධයෙන් සේනානි සමරනායක, ඉරේෂා සිල්වා, පවිත්‍රා සුජානි බෝගොල්ලාගම, සුදර්ශන බණ්ඩාර ගනේගම, දිල්රුක්ෂි දිසානායක, ලලිත් හෙට්ටිආරච්චි, ඉන්දික කරුණාජීව හා සමාගම් දෙකක් පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනය කර ඇත.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් අනුව චෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් කරුණු ඇත්නම් ලබන 28 පෙර සැකකරුවන් නම් කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදෙමින් එදින දක්වා විමර්ශනය කල් තැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles