Tuesday, September 24, 2024

පැන්ඩෝරා වංචනිකයින් ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න

පැන්ඩෝරා වංචනිකයින් පිළිබඳව විමර්ශනයට ආණ්ඩුව වහාම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඊට අමතරව සියලු බලතල සහිත විශේෂ විමර්ශන කමිටුවක් හරහා අදාල හෙළිදරව් කිරීම පිළිබඳව විනිවිද පෙනෙන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනය මගින් සදහන් කළේය.

“අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන පැන්ඩෝරා පත්‍රිකා හරහා ලංකාවේ චරිත කිහිපයක් සම්බන්ධයෙන් නම් අනාවරණය වී තිබේ.මෙය අතිශය බරපතළ තත්ත්වයකි.එහෙත්,  පැනඩෝරා හෙළිදරව් කිරීම් හරහා මෙරට පුද්ගලයින්ගේ නම් කරලියට ඒම පිළිබඳව තවමත් ශ්‍රී ලංකාව නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කොට ඇති අතර මේ බරපතල හෙලිදරව්ව පිළිබඳව ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ නිද්‍රාශීලී පිලිවෙත අතිශය කණගාටුදායකය.

පැන්ඩෝරා අනාවරණයන් සමඟම බොහෝ රටවල් ඒ සම්බන්ධයෙන් ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කොට ඇති අතර අසල්වැසි ඉන්දියාවත්  පාකිස්තානයත් තම රටවල සිදුව ඇති සිදුවීම් පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්වීම ද තීන්දු කොට තිබේ.

අද වනවිට අතිශය ඛේදනීය තත්ත්වයක් උද්ගතව ඇති රටක් තුළ කෝටි ප්‍රකෝටි ගණන් අයථා ලෙස මුදල් ඉපැයූ සහ මූල්‍ය වංචනිකතාවයන්ට හසුවුණු පිරිස් පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් මෙවැනි හෙළිදරව් කිරීම් සිදුවන විට ඒවා දෙස නෑසූ කන් ව බලා සිටිය හැක්කේ එවැනි වංචාවන්ට සම්බන්ධ වූවන්ට සහ එවැනි කටයුතුවලට අනුබල දෙන්නන්ට පමණි.

එබැවින් ආණ්ඩුව වහාම මේ වංචනිකයින් පිළිබඳව ඇත්ත රටට හෙලිදරව් කළ යුතු අතර එහි සත්‍ය හෙළිදරව්වන තුරු  සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව  මේ රටේ පොදු ජනතාව සමග එක්ව නොනවතින අරගලයක් සිදුකරන බවද අවධාරණය කරමු.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles