Friday, December 27, 2024

පැන්ඩෝරා හෙළිදරව්ව ගැන රාජ්‍ය නායකයින්ගේ ප්‍රතිචාර

පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් වී ඇති වත්කම් පිළිබඳව එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව, තමන් කිසිදු වංචනික ක්‍රියාවක් සිදු නොකළ බව ඔවුන් නිකුත් කළ නිවේදනවල දැක්වෙයි.

රාජ්‍ය නායකයන්, හිටපු නායකයන්, රාජකීයයන්, සුපිරි ක්‍රීඩකයින් සහ කලාකරුවන් ඇතුළු ලෝක බලවතුන් රැසකගේ රහසිගත වත්කම් හා ගණුදෙනුවලට අදාළ ලියකියවිලි තොගයක් පැන්ඩෝරා පත්‍රිකා නමින් මේ වනවිට හෙළිදරව් වී තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු, කටාර් එමීර්වරයා, ඩුබායි අගමැති වැනි ප්‍රබල නායකයන්ගේ නම් එහි ඇතුළත්ය.

ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජුට අයත්ව අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ඇති පවුම් මිලියන ගණනක් වටිනා දේපළ රහසිගත ඒවා නොවන බවත් පෞද්ගලික මුදලින් ලබාගත් ඒවා බවත් රාජකීය මාලිගය නිවේදනය කර තිබේ.

පෞද්ගලිකත්වය රැකගැනීමට සහ ආරක්ෂක හේතූන් මත ඒවා පිළිබඳව අනාවරණ නොකළ බව එම නිවේදනයේ දක්වා ඇත.

එමෙන්ම රජුට අයත් මහල් නිවාස සහ නිවාස අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ තිබීම අසාමාන්‍ය හෝ නුසුදුසු දෙයක් නොවන බවත් අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබුණි.

එම දේපළ රජුගේ පෞද්ගලික හා නිල සංචාරවලදී භාවිත කරන ඒවා බව රාජකීය මාලිගය වැඩිදුරටත් පෙන්වා දෙයි.

රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම කාන්තාවක් සතුව මොනාකෝ රාජ්‍යයේ ඇති දේපළ පිළිබඳවත් පැන්ඩෝරා පත්‍රිකා අනාවරණ කළේය.

එම කාන්තාවට සහ පුටින්ට දියණියක් සිටින බවද ඉන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේවෙතත් පැන්ඩෝරා පත්‍රිකා එල්ල කරන චෝදනා තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව ක්‍රෙම්ලිනය නිවේදනය කර තිබේ.

පුටින්ගේ සැඟවූ වත්කම් නොමැති බවත් එම නිවේදනයේ සඳහන්ය.

මේ අතර පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් රට වැසියන් පිළිබඳව විමර්ශන සිදුකරන බව මෙක්සිකෝ ජනාධිපති මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රදෝර් පවසයි.

මෙක්සිකානු ජාතිකයන් 3,000කගේ පමණ නම් එහි ඇතුළත් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles