Sunday, September 22, 2024

පැරිස් සම්මුතිය බලාත්මක කිරීමට කටයුතු කළා

මිහිතලය ආරක්ෂා කර ගැනීම සඳහා ලොව සියලුම රටවල අනුගමනය කළ යුතු ක්‍රම හා විධි සහිත ඓතිහාසික ලියවිල්ලක් වූ පැරිස් සම්මුතිය ශ්‍රී ලංකාව තුළ තහවුරු කරමින් බලාත්මක කිරීමට කටයුතු කළ බවට වූ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (21) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා වෙත පිළිගන්වනු ලැබීය.

මෙම සියවසේදී ගෝලීය උෂ්ණත්වය කාර්මීකරණයට පෙර තිබුණු උෂ්ණත්වය මෙන් සෙන්ටිග්‍රේට් අංශක 02කට වඩා අඩුවෙන් පවත්වා ගැනීම සඳහා සියලු රටවල් එක්සත් කිරීම පිනිස මෙම සම්මුතියට එළැඹ තිබේ.

2015 දෙසැම්බර් මාසයේ පැරිස් නුවරදී පැවැත්වුනු දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියෙහි 21 වැනි වාරයේ අවසන් තීරණය ලෙස මෙම සම්මුතිය සකස් කෙරුනු අතර එම සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ලෝකයේ රාජ්‍ය නායකයන් 158 දෙනෙකු පමණ සහභාගී වූහ.

ලොව ඉදිරි ගමන හා ජනතාවගේ සුඛ විහරණය තීරණය කරන සුවිශේෂී සම්මුතියක් වන මෙම සම්මුතියට ශ්‍රී ලංකාව ද අනුගතව සිටින අතර එම සම්මුතිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර බලාත්මක නීතියක් බවට පත් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෙස මෙන්ම පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා අදාළ වාර්තාව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත භාර දුන් අතර පරිසරය කෙරෙහි ඉතා සංවේදී රාජ්‍ය නායකයකු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වෙනුවෙන් දක්වන ලද සුවිශේෂී කැපවීම මහ ලේකම්වරයාගේ විශේෂ පැසසුමට ලක් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles