Tuesday, September 24, 2024

පැළ වුණු ලොකු ළුෑණු දඹුල්ලේ ගබඩාවල විකුණන්න සුද්ද කරද්දී නගර සභාවෙන් වටලයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ගබඩා දෙකක තිබූ පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු තොගයක් වෙළෙඳපොළට බෙදා හැරීමට සකසමින් සිටියදී සොයාගෙන තිබේ. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට පෙරේදා (16) ලද තොරතුරකට අනුව වැටලීම සිදු කරනා විටත් එම ස්ථානයේ කාන්තාවන් විසින් පැළ වී තිබූ ලූනුවල පත්‍ර සහ කිරි මුල් කපා ඉවත් කරමින් සිට ඇත. මේ ලූනු තොගය පාකිස්තානයෙන් ගෙන්වා ඇති අතර කන්ටේනර් රථයකින් තම ගබඩාවලට ගෙනැවිත් දැමූ බවට ව්‍යාපාරිකයන් විසින් පවසා තිබේ. තවද මේ කන්ටේනර් රථ පිළිබඳ තමන් කිසිදු විස්තරයක් නොදන්නා බවත් ඔවුන් පවසා ඇත.

වැටලීමට එක් වූ නගරසභා සේවකයන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ලංගම ඩිපෝව ආසන්නයේ පිහිටි ගබඩාවක මෙලෙස කාන්තාවන් ලූනු සුද්ද කරමින් සිටිනු දැක ඇති අතර ඔවුන් එම ස්ථානයට ගිය විට ව්‍යාපාරිකයන් විසින් කාන්තාවන්ව ගබඩා කාමරයකට දමා වසා තිබේ. අනතුරුව එක් ව්‍යාපාරිකයෙක් පවසා ඇත්තේ මේ ලොකු ලූනු තොගය ඉවත් කිරීම සඳහා කාන්තාවන් යොදා සකස් කරනා බවටයි. කෙසේ වෙතත් නගර සභා සේවකයන් ගබඩාවලට ඇතුළුවත්ම දැක ගැනීමට හැකි වී ඇත්තේ මේ පැළ වූ ලූනු සුද්ද කරමින් සිටිනා අයුරුය.

මේ කන්ටේනර් රථය පෙරේදා (16) දඹුල්ලට පැමිණ ගබඩා කිහිපයකටම ලොකු ලූනු දමා ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ගේ ද සහායෙන් ඒ පිළිබඳ විමර්ශන කිරීමේදී කණ්ඩලම පාර ප්‍රදේශයේදී රථය සොයාගෙන ඇත. ඉන් අනතුරුව කන්ටේනර් රථය පරීක්ෂා කිරීමේදී වරායෙන් නිකුත් කළ කිසිදු ලියැවිල්ලක් තමා සතුව නැති බවට රියැදුරු පවසා තිබේ. අනතුරුව මේ කන්ටේනර් රථය දඹුල්ල මහ නගර සභා භාරයට ගැනීමට පියවර ගෙන තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles