පිරිපහදු කරන්න තෙල් නැති නිසා තෙල් පිරිපහදුව දින 50 කට වසා දමයි

0
305

අද (15) සිට තාවකාලිකව දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.

මීට හේතු වී ඇත්තේ, පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන බොරතෙල් තොග මේ දක්වාත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙත ලැබී නොතිබීමයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යංශ පරිශ්‍රයේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද සාකච්ඡා කෙරුණු අතර, බොරතෙල් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් හෝ මුදල් වෙන් කිරීමක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ දා පටන්, මෙතරම් දීර්ඝ කලකට වසා දැමෙන්නේ, පළමුවරටයි.

මීට පෙර 2007 වසරේදී පිරිපහදුව නඩත්තු කටයුත්තක් සඳහා සතියක කාලයක් වසා දමා තිබුණා.

“පසුගිය සැප්තැම්බර් 29 මාධ්‍ය හමුවක් පවත්වලා රටට අනතුරු ඇඟවීමක් සිදුකළා වගේම අද දින සිට තාවකාලිකව සපුගස්කන්ද තෙල්පිරිපහදුව වසා දැමීමට අපි තීරණය කළා.”

විදේශ විනිමය අර්බුදය විසඳා ගත් වහාම බොර තෙල් ආනයනය සමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් අනතුරුව තෙල් පිරිපහදුව යළි ආරම්භ කරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here