පිළිකා පොල්තෙල් සමූහ මිනීමැරීමකට අරඇඳීමක්… ගෙන්වූ සමාගම් බ්ලැක්‌ලිස්‌ට්‌ කළ යුතුයි.

0
377

පිළිකාකාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වූ සමාගමට නීතිය තදින් කි‍්‍රයාත්මක කර එම සමාගම අසාදු ලේඛනගත කිරීමටත් රජය වහාම පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (02 දා* ප‍්‍රකාශ කළේය.
 
 අදාළ විෂ සහිත පොල්තෙල් ගෙන්වීම තුළින් එම සමාගම සමූහ මිනීමැරුමකට අරඇඳ ඇති බවක් පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
 
 ඉකුත් කාලසීමාවන්හිදී මෙරට පිළිකා රෝගීන්ගේ වැඩි වීමක් සහ බෝ නොවන රෝගයන්ගේ වැඩි වීමක් ද පෙන්නුම් කර ඇති නිසා අදාළ සමාගම් හරහා මෙරටට ගෙන්වූ ද්‍රව්‍යවලින් එයට බලපෑමක් සිදුව ඇත්දැයි දීර්ඝ ලෙස සොයා බැලීමට මෙරට සෞඛ්‍ය අංශ වෙතට රජය මේ මොහොතේ දැනුම් දීම් කළ යුතුව ඇතැයි ද කී ඒ මහතා තම සංගමය මේ පිළිබඳව මීට පෙර ද අනතුරු ඇඟවූ බව ද පැවසීය.
 
 ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය හේතුවෙන් වකුගඩු ආශි‍්‍රත ලෙඩ රෝග, අක්මා රෝග, විකෘති දරුවන් ලැබීම සහ උපදින දරුවන්ගේ ප‍්‍රතිශක්තිය වර්ධනය බාලවීම ඇතුළු පරම්පරා ගණනාවකට බලපාන අතුරු ආබාධ ඇති විය හැකි බව ද වෛද්‍යවරයා පැවසීය.
 
 මෙවන් තත්ත්වයක් යටතේ මෙරට සෞඛ්‍ය විද්‍යාත්මක නියාමන කි‍්‍රයාවලිය ශක්තිමත් කිරීමට සෞඛය අමාත්‍යාංශය වහාම කි‍්‍රයාත්මක විය යුතු බවත් ආහාර සඳහා වන පනත හා නීති පද්ධතිය ද ශක්තිමත් කරමින් රටට වස විෂ ගෙනඑන සමාගම් වෙනුවෙන් දැඩිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here