Friday, January 10, 2025

පිළියන්දල PCR 95කින් 72කට කොවිඩ්

කෝට්ටේ පිහිටි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව එහි සභාපති අනුර වල්පොල මහතා පැවසීය.

එහි සේවකයින් 17 දෙනෙකු වෛරස ආසාදිතයින් ලෙස හදුනාගැනීමත් සමඟ එම තීරණය ගෙන තිබේ.

එමෙන්ම රත්නපුර නගරයේ සිදුකෙරෙන මැණික් වෙළෙඳාම් කටයුතු ද අද (04) දිනයේ සිට දින 14 ක කාලයක් අත්හිටුවා ඇත.

මේ අතර කෑගල්ල නගරයේ හෝටලයක පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ 15 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව එම විවාහ උත්සවයට සහභාගී වු පවුල් 50 ක සාමාජිකයින් නිරෝධායනයට යොමුකර සිටින අතර ඉන් 100 දෙනෙක් පමණ PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමට නියමිතය.

මේ අතර මීගමුව, ලෙල්ලම ප්‍රදේශයේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 85 ක් සහ වැල්ලවීදිය ප්‍රදේශයේ PCR පරීක්ෂණ 65 ක් සිදුකර තිබේ.

එම ප්‍රදේශයේ ධීවරයින් ඉලක්ක කර ගනිමින් මෙම පරීක්ෂණ සිදුකළ බව මීගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක යූ.කේ. ගුණරත්න මහතා සඳහන් කළේය.

‍මේ අතර කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දැඩි කතාබහට ලක්ව ඇති පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණ 95කින් 72ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේය.

මේ අතර පවතින කොවිඩ් වාතාවරණය යටතේ රිකිල්ලගස්කඩ, පදියපැලැල්ල සහ හඟුරන්කෙත යන නගරවල වෙළෙඳසැල් සතියක කාලයකට වසා දැමීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකා පවත්වාගෙන ගිය කෑගල්ල නගරයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක් අද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වසාදැමීමට කටයුතු කර තිබුණි. 

රසායනාගාරයේ සේවිකාවකට කොවිඩ් ආසාදනය වීමෙන් පසු එය වසා දමා සෙසු පිරිසට නිරෝධායනය වන්නැයි සෞඛ්‍ය අංශ පසුගියදා දැනුම් දී තිබුණත් එම ආයතනය ඊට අනුගත වී නොතිබුණි. 

මේ අතර ඇහැළියගොඩ මූලික රෝහලේ නේවාසික රෝගීන් කිහිපදෙනෙකුට අහඹු ලෙස සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පස්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. 

මීට පෙර එම ප්‍රදේශයේ ආශ්‍රිතයින්ට සිදුකළ PCR පරීක්ෂණවලදී 13 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණි.

ඔවුන් විලේගොඩ, බෝපැත්ත සහ ගැටහැත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මොරටුව මහනගර සභාවේ කසළ අංගනයේ සේවය කරන පුද්ගලයින් 20 දෙනෙකුට ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී 12 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

අද එහි සේවය කරන 6 දෙනෙකු ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළ අවස්ථාවේදී ඉන් තිදෙනෙකුද ආසාදිත බවට හඳුනා ගැනුණි.

මේ අතර දිනෙන් දින වැඩිවන කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල නව ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කෙරෙමින් පවතී.

ඇඳන් 800ක් සහිත පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ පුද්ගලික අධ්‍යාපන ආයතනයක් තුළ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිවෙමින් පවතී.

එමෙන්ම කොවිඩ් රෝගීන් 2,000 කට ප්‍රතිකාර කිරීමට හැකි තවත් මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් සකස් කරනු ලබන්නේ යක්කල, වැරැල්ලවත්ත ප්‍රදේශයේදීය.

මේ අතර කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම තමන්ට ද අවසර දෙන්නැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles