Wednesday, January 15, 2025

පුටින්ගේ ක්‍රියාකලාපයට එරෙහිව රුසියාවෙි සහ යුරෝපා රටවල විරෝධතා මාලාවක්

යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ.

රුසියාවට ගුවන් තහංචි පනවන සෑම රටක්ම පවතින යුද ගැටුමට සම්බන්ධ රටවල් සේ සලකා ක්‍රියා කරන බව ද රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කරයි. මේ වනවිට රුසියාව යුක්‍රේනයේ නගර එකිනෙක වටලා පහර දීම ආරම්භ කර ඇත. කීව් අගනුවර ද හමුදා විසින් වට කරනු ලැබ තිබේ.

ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්‍රේනයේ උතුරින්, දකුණින් සහ නැගෙනහිරින් යුක්‍රේනයට ඇතුළු වී යුද්ධය ආරම්භ කළේ පසුගිය 24 වැනිදාය. දින දෙකක් වැනි කෙටි කාලයකදී යුක්‍රේනය අත්පත් කර ගැනීම රුසියන් ජනාධිපතිවරයාගේ අරමුණ වූ බව මේ වනවිට අනාවරණය වී තිබේ.
කෙසේ නමුත්, යුක්‍රේන ජනාධිපති සෙලෙස්කී, ජනතාව ඒකරාශී කර ගනිමින්, හමුදාව සමඟ එක් වී, රුසියන් හමුදාවට අභියෝගයක් වී ඇති බැවින්, දිනෙන් දින යුද ගැටුම් දිග්ගැස්සෙමින් පවතී.

මේ වනවිට සෑම බටහිර රටක්ම රුසියන් ජනාධිපති පුටින්ට, ඔහුගේ රජයේ, හමුදාවේ සහ බුද්ධි අංශයේ ප්‍රධානීන්ට, ව්‍යාපාරිකයන්ට, බැංකුවලට ආර්ථික සම්බාධක පනවා ඇත. ඒ, රුසියාව ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමටය.


රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය හමුදාවට පවසා ඇත්තේ යුක්‍රේන සිවිල් වැසියන් ආරක්ෂා කරමින්, යුක්‍රේන හමුදාව අඩපණ කිරීමට සටන් කරන ලෙසය. තමන්ට යුක්‍රේනය අල්ලා ගැනීමට අවශ්‍ය නම් දිගට හරහට පහර දී එය සිදු කළ හැකි නමුත්, යුක්‍රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට මුල් තැන දීමට සිදුවනු ඇති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙන්වා දී ඇත.

රුසියා – යුක්රේන ආක්‍රමණය ආරම්භ කර අදට දින 14ක් ගතව තිබේ.

මේ වන විට සිවිල් වැසියන් 364 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එහිදී තවත් සිවිල් වැසියන් 759 දෙනෙකු තුවාල ලබා ඇත.

මේ අතර රුසියානු ආක්‍රමණය වහා නතර කරන ලෙස බල කරමින් යුරෝපය පුරා විරෝධතා මාලාවක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්‍රේනය ආක්‍රමණය කරමින්, යුක්රේනයේ සිටින රුසියන් බස කතා කරන රුසියන් සම්භවයක් ඇති වැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ගන්නා උත්සාහයට සහාය පළ කරමින්, ජනාධිපති පුටින්ට ස්තුති කරමින් රුසියාවේ මොස්කව් අගනුවර ජන රැළියක් ද පැවැත්විණි. දහස් ගණනන් පුටින් හිතවාදීහු ඊට සහභාගී වූහ.

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර 5,000කගේ පමණ සහභාගීත්වයෙන් යුක්රේන ධජය රැගත් විරෝධතා රැළියක් පවත්වා ඇත.

රුසියාවේ පමණක් යුද විරෝධී උද්ඝෝෂණවලට සම්බන්ධ වූ 4,631 දෙනෙකු නගර 64කදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles