Thursday, January 23, 2025

පූජ්‍ය වේඬරුවේ උපාලි හිමි යුද හමුදාපතිට දුන් උපදෙස

කොවිඩ් ආසාදිත මෘත දේහවල අවසන් කටයුතු සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ ආගමික ධර්මතා නොව වෛද්‍යවරුන්ගේ උපදෙස් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් පෙන්වා දෙයි.

උන් වහන්සේ මේ බව කියාසිටියේ, ජෙනරාල් ධුරයට උසස් කෙරුණු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද (29) එම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී ය.

ජෙනරාල් ධුරයට උසස් කෙරුණු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපතිවරයා අද මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගත්තේය.

තිස් වසරක් පුරා මෙරට පැතිරී තිබූ කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින්, සිව්වන ඊළාම් යුද්ධයේදී යුද හමුදා සේනාංක දෙකකට නායකත්ව දුන් ප්‍රබල සේනාංකාධිපතිවරුන් දෙදෙනෙකු ලෙස එවක මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ එවක බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා හැඳින්විය හැකිය. 

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මෙහෙයවන ලද 53 වන සේනාංකය 2009 මැයි මස 18 වැනිදා නන්දිකඩාල් කලපුව ආසන්නයේ දියත් කළ සටන අවසන් වූයේ දශක තුනක් තිස්සේ රට ලෙයින් තෙත් කළ එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ සමීපතමයින් සියලුදෙනා ජීවිතක්ෂයට පත්කරමින්ය.

වර්තමානයේ ආරක්ෂක ලේකම්වරයා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සේවය අගය කිරීමක් වශයෙන් ඔහුව ජෙනරාල් ධුරයට උසස් කිරීමට සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය.

එසේම එවකට 58 වන සේනාංකාධිපති ලෙස ක්‍රියා කළ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සිව්වන ඊළාම් යුද්ධයේදී වැඩිම භූමි ප්‍රමාණයක් මුදාගත් සේනාංකාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්වේ.

2019 වර්ෂයේ අගෝස්තු මස 18 වන දින මෙරට 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2020 ජනවාරි මස 02 දින වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට ද උසස් කෙරුණි. 

කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස යුද හමුදාපතිවරයා සිදුකරමින් සිටින කැපී පෙනෙන කර්තව්‍යය අගයනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාපතිවරයාව ජෙනරාල් තනතුරට උසස් කර තිබේ.

මේ අතර නිලතල උසස් වූ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.

මේ අතර යුද හමුදාපතිවරයා මල්වතු, අස්ගිරි මහා විහාර වෙත ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය.

පළමුව ඔහු පැමිණියේ මල්වතු මහා විහාරයටය.

මෙහිදි අදහස් දැක්වු මල්වතු පාර්ශ්වයේ අනුනායක, පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, “ගරු ජනාධිපතිතුමාට ස්තුතිය ප්‍රකාශ කරනවා. සුදුස්සාට සුදුසු තැන ලබාදීම පිළිබඳ. ජනාධිපතිතුමා හැමදාම නිවැරදි තීරණ තීන්දු ගන්නවා කිසි බයක් නැතුව එඩිතරව.“යනුවෙන් පැවසීය.

යුද හමුදාපතිවරයා පසුව අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන් බැහැ දැකීමට ද පැමිණියා.

එහිදී එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන්, කොවිඩ් මෘත ශරීර ආදාහනය පිළිබඳ මතු වී ඇති අර්බුදය ගැන මෙලෙස අදහස් පළකළේය.

“සුනාමිය ආවා. කොච්චර සංඛ්‍යාවක් මියගියාද? ඒ ඒ ආගම්වලට අනුව කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ආදාහනය වුණා ද, භූමදානය වුණා ද, පාංශකූලය දුන්නද, දේව මෙහෙය කළාද මොකක්වත් නැහැ.පොදුවේ සියල්ලම සංවේග වුණා. හදිස්සියේ නායයාම් ඇතිවෙනවා. කාටවත් මේ තම තමන්ගේ ආගම අනුව කටයුතු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මුලික දේ මිනිහා ජීවත්වෙන්න ඕනේ. එතනදි සිංහලද, දෙමළද, මුස්ලිම්ද එහෙම ප්‍රශ්නයක් නැහැ. රට, ජාතිය, ආගම. ඉස්සෙල්ලා රට රැකගන්න ඕනේ.ඊට පස්සේ ඒ ඒ ජාතින්, ඊට පස්සේ තමයි ධර්මය තිබෙන්නේ. අපි ධර්මයට මුල්තැන දීලා කටයුතු කරන්න ගියොත් රටත් ඉවරයි ජාතියත් ඉවරයි. අනිත් එක මේ වෛද්‍යවරු තීරණය කරපු දේකට මේ සාමාන්‍ය මහජනයා පාර හරස් කරගෙන කටයුතු කරනකොට කොහොමද මේ රට ගෙනියන්නේ?“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles