Saturday, September 21, 2024

පෙරටුගාමීන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග දේශපාලන සාකච්ඡාවක

රටෙි වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඊට විසඳුම් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සෙසු දේශපාලන පක්ෂ සමග ආරම්භ කර ඇති සාකච්ඡා මාලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්විණි.

කොළඹ 07, මහගමසේකර මාවතේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ පැවැත්වුණු එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජිකයින් වන චමීර කොස්වත්ත, රවීන්ද්‍ර මුදලිගේ, සහ පුබුදු ජයගොඩ ද සහභාගි විය.

චීනයේ, අමෙරිකා එක්සත් ජනපදයේ බලදේශපාලනික ගැටුමට ලංකාව මැදිහත් කරගැනීමත්, යුරෝපා සංගමය හා ඉන්දියාව එහිදී ඉටුකරන කාර්යභාරය සහ රටට එල්ල වෙමින් තිබෙන පීඩනය සම්බන්ධවත් කරුණු දක්වමින් සාකච්ඡාව පැවැත්වුණු බව පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් වැඩි දුර අධ්‍යයනය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කමිටුවක් පත් කර ඇති බව ද එම කමිටුවේ වාර්තාව හෙට (02) නිකුත් වූ පසු ඒ් සම්බන්ධයෙන් ශ්‍රීලනිප ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බව ද එහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත.

සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ සඳහන් කළේ, රටේ පවතින අර්බුදය සහ ඊට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් පක්ෂ‌ දෙකේ ප්‍රතිපත්ති අතර වෙනස්කම් පැවතිය ද ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය, ගොවිජනයා මුහුණ දී සිටින පොහොර අර්බුදය, ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් පීඩා විඳින සාමාන්‍ය ජනයාගේ ගැටලු සහ නිදහස් අධ්‍යාපනයේ අයිතිය සම්බන්ධයෙන් එකඟතාවයන්ට පැමිණිය හැකි සාධනීය ඉඩක් මෙම සාකච්ඡාව මගින් විවෘත වූ බවයි. එසේම සාකච්ඡාව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට ද එහිදී තීරණය වී ඇත.

මීට පෙර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය සමග සාකච්ඡා කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කටයුතු කළ අතර ඉදිරියේ දී ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග ද මෙම සාකච්ඡාව ඉදිරියට ගෙනයාමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සැලසුම් කොට ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles